ජවිපෙ පාවිච්චි කරමින් ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව රට බෙදන්න හදනවා

  👤  3148 readers have read this article !
By mawbima 2018-07-12

සිරිසේන - වික්‍රමසිංහ එකතු වී රටේ ඒකීය බව නැති කරන හැටි බොහෝ දෙනකුට නොතේරෙන බව ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කෙළේය.

හෙතෙම එම අදහස් පළ කළේ 'රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය' මැයෙන් පෙරේදා (10දා) පැවැති සම්මන්ත්‍රණයකදීය. ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධාන කළ මේ සම්මන්ත්‍රණයේදී ආචාර්ය අමරසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද රට, ජාතිය, භයානක අනතුරකට පත්වෙලා. මේක බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ. මේ රට, ජාතිය මුහුණ දුන් මේ අනතුර ඒකාබද්ධ විපක්ෂයටවත් තේරෙන්නෙ නැහැ.
විදේශිකයන් රට අල්ලා ගත්තත් භෞමික අඛණ්ඩතාව නැති වුණේ නැහැ. ඉංග්‍රීසීන් පවා අපට 'සිංහලය' භාර දුන්නා. ඒත් මේ ආණ්ඩුව නිසා රටේ භෞමික අඛණ්ඩතාව නැති වෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙනා විදේශ බලවේගවල වුවමනා ඉටු කිරීම නිසා එසේ සිදුවී තිබෙනවා.

රට බෙදීමට අවශ්‍ය පසුබිම රට තුළත් අන්තර්ජාතිකවත් සකස් කර තිබෙනවා. ව්‍යස්ථාව මඟින් රට බෙදීම සිදු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරමින් 20 වැනි සංශෝධනය ගෙනත් ව්‍යවස්ථානුකූලව මේ රට බෙදන්න කටයුතු කරනවා.

ත්‍රස්තවාදය නිමා වූ පසුව උතුරු පළාත් සභාව රට බෙදීමේ මානසිකත්වය උතුර තුළ ඇති කර තිබෙනවා. අපි කියූ දේ අහල පළාත් සභාව පිහිටුවන්නෙ නැතිව මධ්‍යම ආණ්ඩුව උතුරේ ජනතාවගේ හිත දිනාගත්ත නම් මේ ගැටලු නැහැ. උතුරු පළාත් සභාව එම ප්‍රදේශය සංවර්ධනය නොකර තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න අවශ්‍ය පසුබිම සකසනවා.

උතුර කොටි ත්‍රස්තවාදය, බෙදුම්වාදය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා. දකුණේ දේශපාලකයෝ එය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඒ සඳහා අන්තර්ජාතික පසුබිමත් සකසනවා. මේ රට බෙදීමේ ක්‍රියාමාර්ගය මානව හිමිකම් කවුන්සිලය හරහා සිදු කරනවා.

මේ රටේ හමුදාවේ අත්පා බැඳලා දුර්වල කරනවා. ත්‍රස්තවාදයට බියක් සැකක් නැතිව නැඟී සිටින්න පරිසරයයි එහෙම සකස් කරන්නෙ. හමුදාව අඩු කරලා කඳවුරු අඩු කරලා බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

සතුරා හැමදාම ජයග්‍රහණය නොකළත් ඔහුගේ එක් දිනක ජයග්‍රහණය අපගේ සදාකාලික පරාජයට හේතු වෙනවා. ත්‍රස්තවාදය පරාජය වුවත් බෙදුම්වාදී වැඩපිළිවෙළ 2015දී නව ආකාරයකින් බිහි වුණා. විජයකලා, සම්පන්දන්, ශිවාජිලිංගම් හා විග්නේශ්වරන්ගේ රඟපෑම එකක්. ඒත් භූමිකාව පමණක් වෙනස්. විජයකලාගේ පුල්ලි මතු වුණත් මධ්‍යස්ථ බව කියන සම්පන්දන්ගේ අරමුණත් ඊළම තමයි. ඒ නිසා අප බැලිය යුත්තේ ජවනිකා දෙස නෙවෙයි. නාට්‍යය දෙසයි.

මීළඟට ඉදිරිපත් වන ජාතිකවාදී නායකයාට අලගු තියන්නවත් අනෙකුත් අපේක්ෂකයන් 10 දෙනෙක් එකතු වුණත් බැහැ. ඒක ඔවුන් දන්නවා. ඒ නිසා තමයි ජනාධිපති ධුරයේ වටිනාකම් නැති කරන්න හදන්නෙ.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම

විශේෂ අධිකරණ පිහිටුවන්නෙත් විරුද්ධවාදීන් සිරගත කිරීමටයි. ජනාධිපතිවරණයට තරග කරන්න සිටින අය, ඡන්දෙදි කතා කරන්න ඕන අය සිරගත කිරීමයි ඔවුන්ගෙ අරමුණ. ප්‍රතිවාදීන් නැතිව තරග කරන්නයි ඔවුන්ගේ අදහස.

මාධ්‍යවේදී මොහාන් සමරනායක

ගෝලීය අධිරාජ්‍යවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත කීර්තිමත් පුවත්පතක් නෙවෙයි. 2015 ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රිපාල ජනාධිපති නෙවෙයි. නව ලිබරල්වාදය ගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු සුළුතර කල්ලියක්. ඔවුන්ට ජාතියක්, ආගමක් නැහැ. හැමදේම වෙළෙඳ භාණ්ඩයක් පමණයි.

දෙනගම ධම්මික රණවීර

ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon