පහළ නිලධාරීන්ට පීඩා නොකර ආරක්ෂක ලේකම්වරයාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්න

  👤  3166 readers have read this article !
By mawbima 2018-07-12

කවින්ධ්‍යා පෙරේරා

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි බදුවත්ත ආරක්ෂක නිල නිවෙස්නය පිළිබඳ හා මරදාන ත්‍රිපොලි හමුදා බුද්ධි අනු ඛණ්ඩය සම්බන්ධ තොරතුරු අඩංගු ලිපි ලේඛන ලබා ගැනීම සඳහා වර්තමාන බුද්ධි අධ්‍යක්ෂ කොඩිතුවක්කු වැනි නිලධාරීන් මෙයට පැටලවීම සාධාරණීකරණය කිරීමට නොහැකි බැවින් පහළ නිලධාරීන්ට පීඩනයක් සිදු නොකර ආරක්ෂක ලේකම්වරයාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

සිද්ධියට අදාළ නඩුව පෙරේදා (10දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා, පොලිස් කොස්තාපල් සිල්වා සමඟ රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියහ.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින අටවැනි සැකකරු වන යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා පෙරේදා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙසේ සඳහන් කළාය.

"ඉකුත් නඩු දිනයේ වර්තමාන බුද්ධි අධ්‍යක්ෂවරයා මහෙස්ත්‍රාත්වරිය හමුවට කැඳවා සාකච්ඡා කර පිළිතුරු ලබා ගැනීමට අවශ්‍යව ඇති ප්‍රශ්න කිහිපයක්, ප්‍රශ්නාවලියක් ලෙස සකසා ලබා දුන්නද මේ වන විටත් එම ප්‍රශ්නාවලියට පිළිතුරු ලැබී නෑ.

එම නිසා ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම ප්‍රශ්නාවලියට පිළිතුරු අත්‍යවශ්‍ය වී තිබෙනවා.
එසේම අටවැනි සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රශ්න කිරීමේදී විමර්ශන නිලධාරීන් විසින් සොයා ගත් සැකකරු සන්තකයේ තිබූ ලේඛන සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතිනවා. එම ලේඛන අතර අටවැනි සැකකරු හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ කාලය තුළ හමුදා බුද්ධි අංශ මඟින් ගෙන්වා ගත් ආරක්ෂක නිවෙස්නය සම්බන්ධ තොරතුරු අඩංගු ලිපියක්, ත්‍රිපොලි හමුදා බුද්ධි අනු ඛණ්ඩය සම්බන්ධ තොරතුරු අඩංගු ලිපි ලේඛනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කර ඇත.

අටවැනි සැකකරු හමුදා බුද්ධි ප්‍රධානියාට දැනුම්දී මෙම ලිපි ලේඛන බන්ධනාගාරය තුළට ගෙන්වාගෙන ඇති අතර බුද්ධි අධ්‍යක්ෂවරයාගේ පිළිතුරු අපේක්ෂාවෙන් අට වැනි සැකකරු විසින් යොමු කළ ලිපි සම්බන්ධයෙන් හා එම ලිපිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු වෙනවා. එම නිසා බුද්ධි අධ්‍යක්ෂවරයාගේ ලේඛන පරීක්ෂාවට අවශ්‍ය වී තියෙනවා. එසේම මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සෘජු පිළිතුරු ලබා දෙන්නේ නෑ. ඔහු ලබා දෙන්නේ වක්‍ර පිළිතුරුයි."

එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය පැමිණිලෙන් මෙලෙස විමසා සිටියාය.
අධිකරණය - යුද හමුදා පරිපාලන තත්ත්වය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන එක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කියා බැහැර කරන්න පුළුවන් නිසා නීතිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම් හෝ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පියවර ගන්න බැරිද? එසේ සිදු කළා නම් පහසුයි.

රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ - ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ස්වාමිනී.
බදුවත්ත ආරක්ෂක නිවෙස්නය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අටවැනි සැකකරුගේ උපදෙස් මත පවත්වාගෙන ගිය ස්ථානයක් බවට අනාවරණය වෙනවා.

එසේම වර්තමාන බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි ලේඛන මෙතෙක් ලැබී නෑ. ඔහු මෙම සැකකරු සමඟ කුමක් හෝ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු වෙනවා.

සැකකරු වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටි අතර ඇප පනතේ ඇප ප්‍රතික්ෂේප කිරීමට කරුණක් නොමැති බැවින් ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.
එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළව අවශ්‍ය ලේඛන ආරක්ෂක ලේකම්වරයාගෙන් කෙළින්ම ලබා ගන්නා ලෙසත් එවිට කුමක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් යුද හමුදාව වෙනුවෙන් පත්කළ නිලධාරියෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින අතර එම නිලාධාරියාගෙන්ද උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙසය.

සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තාවක් ලබාදී ඇති නමුත් රෝහල්ගත කිරීමට ඇති රෝගයක් සම්බන්ධයෙන් වාර්තා නොවන බැවින් මෙම සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කර සිටියාය.

සිද්ධියට අදාළ නඩුව යළිත් ලබන ජූලි 24 වැනිදා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon