ළාබාල සිසුවකුට මිට මොළවා පහරදුන් ගුරුවරියට ඇප

  👤  3178 readers have read this article !
By mawbima 2018-07-12

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

අවු. 8ක ළාබාල පාසල් සිසුවකුට අතමිට මොළවා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති ජා - ඇළ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විද්‍යාලයක පාසල් ගුරුමහත්මියක් රු. 30,000ක මුදල් ඇප මත මුදා හැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය පෙරේදා (10දා) නියෝග කළාය. පහරකෑමට ලක්වූ දරුවා එම විද්‍යාලයේ 3 වසරේ සැකකාර ගුරුතුමිය භාරයේ ඉගෙනුම ලබන බව කියයි. අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධ හේතුවක් මුල්කර ගෙන ගුරුතුමිය විසින් මෙම දරුවාගේ පපුවට පහර දී ඇතැයි ජා - ඇළ පොලිසියට දරුවාගේ මවුපියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාව අනුව දරුවාගේ පපු ප්‍රදේශයට අතමිට මොළවා සිදුකළ පහරදීමක සලකුණු තිබෙන බව එහි සඳහන් කර ඇත. සැකකාර ගුරුතුමිය වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් ගුරුතුමියක් කිසිදු අවස්ථාවක ළමයින්ට ජීවිත තර්ජනයක් වන ලෙස කිසිදු පහරදීමක් සිදු නොකරන බවත් දරුවන් යහමඟට ගැනීම සඳහා අවවාද කිරීම් කරන බවත් පැවැසීය.

කුඩා කල සිටම දරුවන්ව නිසි මාර්ගය යොමු කරමින් රටට වැඩදායක පුරවැසියන් කිරීමට වෙහෙස ගන්නා මෙම ගුරුතුමියට කර ඇත්තේ බොරු චෝදනාවක් බව ජේ‍යෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ අවධානයට ලක් කළේය. ජා - ඇළ අධ්‍යාපන කලාපය මඟින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවා සමඟ ඉගෙන ගන්නා සිසුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ගුරුවරිය මේ දරුවාට පහර දීමක් කර නොමැති බවට අනාවරණය වූ බවත් පවසයි. සැකකාර ගුරුතුමිය වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටි අතර නැවත විභාගය අගෝස්තු 29ට කල් තැබිණි. ජා - ඇළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon