දේශපාලනයේ අවුල් වියවුල් පෙන්වීම තරම් සනීපයක් මාධ්‍ය මහත්වරුන්ට නැහැ

  👤  3257 readers have read this article !
By mawbima 2018-07-12

අද නව තාක්‍ෂණය සමඟ පරිහරණය කිරීමට ලැබී තිබෙන අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන ඇතුළු නව තාක්‍ෂණික මෙවලම් නිසා ගම්වල තිබුණු හික්මීම හැදිච්චකම, මනුෂ්‍යකම, නැති වෙලා යන අතරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවොත් ගමට එන්නට පටන් ගෙන තිබෙනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුව ලංකාපුරදී පැවැසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ අභයපුර නිව් රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අභයපුර, ශ්‍රී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන්කොත් මහා සෑරදුන් වහන්සේගේ කොත නිරාවරණය කොට සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපති මෙසේද කීය.

''ගම වඩාත් දියුණු වන්නේ ගමේ පාසලත්, පන්සලත් ශක්තිමත් වූ විටයි. පාසලෙන් දැනුම ලබා දෙනවා වගේම පන්සලෙන් විනයත් සමඟ දැනුම ලබාදෙනවා. අපේ රට ගොඩනැඟුණේ ගමේ පන්සලෙන් ලබාදුන්න අධ්‍යාපනය හා හික්මීම නිසායි.

පසුගිය අවුරුදු තුන තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය පිළිබඳව මම ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඒ තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග ආදී ක්‍ෂේත්‍ර හා ආගමික හා පූජනීය ස්ථාන සංවර්ධනය පිළිබඳව. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තිබෙන පිරිවෙන් 15න් මේ වන විට පිරිවෙන් 10ක් අංගසම්පූර්ණයෙන් නිම කරලා තියෙනවා. අනෙක් ඒවායේ වැඩ කටයුතු නිම වෙමින් පවතිනවා.

අගෝස්තු මාසයේ 1, 2, 3, යන දින තුන අපි යොදා ගෙන තිබෙනවා සියලුම මැති ඇමැතිවරු, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, උප කුලපතිවරු, කලාකරුවන් හා විද්වතුන් ඇතුළු ප්‍රභූවරුන් රාශියක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගෙනැල්ලා මේ දිස්ත්‍රික්කයේ දැනට වැඩ අවසන් කළ ව්‍යාපෘති 170ක් විවෘත කරන්න.

පෙර රජ දවසින් පසු වාරි ක්‍ෂේත්‍රයේ යෝධ සංවර්ධනයක් සිදු වන්නේ මේ ආණ්ඩුව යටතේයි. රුපියල් කෝටි 22,000ක් වැය කරමින් සිදුවන සංවර්ධන ක්‍රියාදාමය පැමිණ බලන්න. මාධ්‍ය මඟින් පෙන්වන පරිදි රටේ සංවර්ධනයට අවාසි සහගත කිසිවක් සිදු වන්නේ නැහැ. ආණ්ඩුව කරන දේකුත් නෑ ආණ්ඩුව කරපු දේකුත් නෑ කියලයි මාධ්‍ය අඟවන්නේ.රූපවාහිනියේ හවසට තියෙන්නේ ඔක්කොම දේශපාලනඥයන්ගේ ආරවුල් හා බැන ගන්න ඒවා විතරයි. නමුත් අපි ආණ්ඩුවක් විදියට කරන්න තියෙන සියලු දේවල් කරනවා. මේ මාසේ 23දා කළු ගඟ ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් අපි පටන් ගන්නවා. මොරගහකන්ද ජලාශයට කළු ගඟ ජලාශය යන වැව්වල වැඩ පටන් අරන් තියෙනවා. ඇළවල වැඩ පටන් අරන් තියෙනවා. අපට මුදල්වල කිසිම අඩුවක් නෑ. සියල්ල තියෙනවා. වැඩත් කෙරීගෙන යනවා.

රටේ යහපතට ආණ්ඩුවක් විදියට කරන දේවල් මාධ්‍යයෙන් අද පෙන්නන්නේ නෑ. මාධ්‍යයේ මහත්වරුන්ටත් සනීප මේ වගේ අවුල් පෙන්නපුවාම. මම 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. නමුත් එදා රටේ ජනතාව ඒ පෙන්නපු විකාර, චරිත ඝාතන, කුණුහරුප කිසිවක් සැලකුවේ නෑ.
මත්කුඩු, මත්ද්‍රව්‍ය අද ගම්වලට විශාල අභියෝගයක්. අද ඔබේ දරුවා හදා ගන්න තිබෙන ලොකුම අභියෝගය ලෙස මම දකින්නේ මත්ද්‍රව්‍යයි. මේ පිළිබඳව මවුපියන්ගේ අවධානය ඉතාමත් අඩුයි. දරුවෝ කරන්නේ මොනවද, යන්නේ කොහෙද, පාසල් ගිහිල්ලා කවුද ඇසුරු කරන්නේ. පාසලට යන එනවිට මඟතොටේදී කවුද හමුවන්නේ කියලා මවුපියන් සොයා බැලිය යුතුයි. ඉතා කලාතුරකින් තමයි පාසල්වලදී දරුවන්ට අතවර, කරදර හා හිරිහැර සිදුවුණු බවට වාර්තා වෙන්නේ. ඒ නිසා දරුවන් පිළිබඳව දැනට වඩා සොයා බැලීම් කළ යුතුයි.

ලංකාපුර - හෙන්රි ලයනල්
පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon