මහින්දගේ ආණ්ඩුව ලබාගත් ණයවලින් පොත්වල ලියා ඇත්තේ ටිකයි

  👤  3200 readers have read this article !
By mawbima 2018-07-12

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - අමිත තෙන්නකෝන්

පසුගිය ආණ්ඩුව සැබෑ ණය සැඟවූ නිසා පොත්වල තිබෙන ගෙවිය යුතු ණයවලට වඩා ප්‍රමාණයක් ප්‍රායෝගිකව ණය ගෙවීමට සිදු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (11දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය. එහිදී සම කැබිනට් ප්‍රකාශකවරු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට මෙසේද පිළිතුරු දුන්හ.

ඉන්ධන මිල වැඩි කළේ කාගේ වුවමනාවටද?

මුදල් අමාත්‍යාංශ මිල සූත්‍රය අනුව මිල වැඩි කළත් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන තුරු ඒක තාවකාලිකව නතර කළා. ඉන් පසුව කැබිනට් මණ්ඩලයත් ඊට පසුව ජනාධිපතිවරයාත් දීර්ඝ ලෙස සාකච්ඡා කරල තීන්දුවක් ගත්තා. නියම විදියට නම් රුපියල් 14කින් මිල වැඩි කළ යුතුයි. ඒත් එච්චර වැඩි නොකොට ඉතිරි මුදල රජය දරනවා. දියුණු රටවල නම් දිනපතා තෙල් මිල වෙනස් වෙනවා. ඒත් අපේ රටේ පරිගණක ගත කොට නැති නිසා තමයි මාසයකට වරක් ඒ කියන්නේ 10 වැනිදාට තෙල් මිල වෙනස් කරන්න තීරණය කළේ.

පෞද්ගලික බස් හිමියෝ යළිත් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටිනවාද?

එහෙම වුණොත් අඩු වෙනකොට අඩු කිරීමටත් ඒ අය සූදානම් වෙන්න ඕන. මිල අඩු වුණත් වැඩි වුණත් වසර 2කට මිල ඉහළ නොදමන්න ඔවුන් ගිවිසුම් ගතවී සිටිනවා.

ජාත්‍යන්තර මිල උච්චාවචනය වීම සලකා බලන්නේ කෙසේද?

සිංගප්පූරු ඉන්ධනවල මිල තමයි සලකා බලන්නෙ.

බස්වලට භූමිතෙල් ගැහුවට ප්‍රශ්නයක් නැද්ද?

ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉන්ධන මිල වැඩි වන්නේ වසර 3කට පසුවයි. 2015දී අපි අඩු කළා. අද කරන වැඩි කිරීම් නිසයි එදා තිබුණු මිල ඉක්මවන්නෙ.

ලේ බැංකුවේ අර්බුද නිසා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය යළිත් වැඩ වර්ජනයකට යන බව කියනවා?

නැහැ. වර්ජනය සිදු වන්නේ නැහැ.

ලේ බැංකුවේ අධ්‍යක්ෂ ලෙස රුක්ෂාන් බෙල්ලන මහතා තවමත් කටයුතු කරනවාද?

ඔහු ඉවත් කළා. ඔහුගේ පත් කිරීමත් සම්පූර්ණයෙන්ම වැරැදියි.

ඔබට ඉහළින් මෙවැනි පත් කිරීම් කරන්න කාටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලයක් තියෙන්නෙ?

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට (වෛද්‍ය සේවා)

2019 අය වැයට සර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක් හදන්න කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සඳහන් නොකර සිටින්නේ ඇයි?

දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම 17% දක්වාද, පුනරාවර්තන වියදම් 15% දක්වාද, රාජ්‍ය ආයෝජන 5.5% දක්වාද, අය - වැය හිඟය 3.5% දක්වාද, ණය සීමාව 70% දක්වාද වශයෙන් පවත්වාගෙන යෑමටත් අපේක්ෂා කරනවා. මේ ටික කළොත් ආර්ථික වර්ධනය හුඟක් වැඩි වෙනවා.

සෙසු වර්ධනයන් අපේක්ෂා කරද්දී ඇයි ආර්ථික වර්ධන වේගය හැලුවෙ?

මේ කරන්නෙ අපට කරන්න පුළුවන් දේවල්. ඒ අනුව තමයි ආර්ථික වර්ධනය අපේක්ෂා කරන්නෙ?

ආණ්ඩුව බලයට පත්වන විටත් ආර්ථික වර්ධන වේගය ගැන පුරෝකථනය කළා. ඒත් ඇයි දැන් එය කරන්න අසමත් වෙන්නේ?

ඒක කරන්නෙ අය වැයෙන්නෙ.

ගයන්ත කරුණාතිලක මහතා

ඉලක්ක සපුරා ගන්න පුළුවන් විදියට ජාතික අය වැය සකස් කරල රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශවලට දෙන්න තමයි කැබිනට් අනුමැතිය ගත්තෙ.

ඉලක්ක සපුරනව කිව්වට ආර්ථික වර්ධනය පසුගිය වසර තුන තුළ එන්න එන්නම අඩු වෙමින් 3.2%ට පත්වෙලා. ඉලක්ක සපුරා ගන්න අසමත් වීම නේද මේ ලෙස පෙන්නුම් කරන්නෙ?

රාජිත සේනාරත්න මහතා

අපේ තිබුණු ණය ප්‍රමාණය නියම ණය ප්‍රමාණය ලෙස නෙවෙයි ගණනය කරල තියෙන්නෙ. අපේ ආණ්ඩුව නියම විදියට ගණනය කළාම රාජ්‍ය ණය ඉහළ මට්ටමට ගියා. එහෙම වුණාම ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න ඕනනෙ. බොරු ඉලක්කම් දමල ආර්ථික වර්ධනය පෙන්නුවට වැඩක් නැහැ. ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව හරහා ගත් ණය භාණ්ඩාගාරයේ සඳහන් වෙලා නැහැ. පොත්වල තියෙන ගෙවිය යුතු ණයවලට වඩා ප්‍රායෝගිකව ණය ගෙවන්න සිදු වෙනවා.

මේ ආණ්ඩුවත් අධික ලෙස ණය ගන්නවාද?

කොච්චර ගත්තත් භාණ්ඩාගාරයේ සඳහන් වෙනවනෙ. ණය ගත්ත එකේ නෙවෙයිනෙ වැරැද්ද. ඒ ණය සඳහන් නොකිරීමනෙ. ඒ ණය ගෙවන්න බැරි නිසා තමයි ආණ්ඩුව විසුරුවන්න තීරණය කළේ.

රාජ්‍ය ණය බර 70%ට අඩුවෙන් පවත්වාගෙන යන්න තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?
ඒක තමයි අය වැය ලේඛනයෙන් ඉදිරිපත් කරන්නෙ. 2021 වන විට 70% දක්වා අඩු වෙනවා.

උදයංග වීරතුංග ගෙන්වීමේ කටයුතු කෙබඳුද?

නීතිපති දෙපාර්තමේන්තුවේ අය ඒ ගැන කටයුතු කරනවා. හිටපු ජනාධිපතිතුමාත් කිව්වනෙ ගේනව කියලා.

වාහනයක් තිබෙන හැමෝටම බදු ගෙවන්න සූදානම් වෙන්න කියන පණිවුඩයක් රජය දී තිබේද?

එහෙම එකක් නැහැ. බදු ගෙවන්න සිදුවෙලා තියෙන්නෙ වසරකට ලක්ෂ 5ට වඩා වැඩි අයටනෙ. කාර් එකක් ඒ ගාණට අඩුවෙන් තියාගෙන ඉන්න කට්ටියට පුළුවන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ.

ගයන්ත කරුණාතිලක මහතා

පිරිසක් බදු අය කිරීම් ගැන විවිධ කටකතා පතුරුවනවා.

විශේෂ අධිකරණයේ ඉදිරි කටයුතු කෙබඳුද?

රාජිත සේනාරත්න මහතා

පළමු අධිකරණය ආරම්භ කරනවා. ඉතුරු දෙක සැප්තැම්බර්වල අරඹනවා.

විජයකලා මහේෂ්වරන්ගේ මන්ත්‍රි ධුරය අහෝසි කරනවාද?

ඒක කථානායකතුමා නීතිපතිගෙන් විමසල තියෙනවනෙ.

සංහිඳියාව ගොඩනඟන බව කිව්වත් ආණ්ඩුවට උතුර පාලනය කරගන්න බැරි වෙලාද?
දැන් ඔය විජයකලාට එරෙහිවත් පෝස්ටර් අලවල තියෙන්නෙ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ගැන ආණ්ඩුව ඔහුට කරන චෝදනා අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කොට තිබෙනවා?

එයාගෙ සහෝදරියගෙන් අහන්න කියන්න. එයානෙ ඒකෙ අධ්‍යක්ෂවරිය.

පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමයටද පවත්වන්නෙ?

තවම අවසන් තීරණයක් නැහැ.

පළාත් සභා මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බව විපක්ෂ නායක කියනවා?

ඒක එතුමගෙ ඉල්ලීමනෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon