නිල ඇඳුමෙන් සූදු කෙළිමින් සිටි තංගල්ලේ සිසුන් 8ක් අල්ලයි

  👤  3107 readers have read this article !
By mawbima 2018-07-12

තංගල්ල- සහම්පති මානගේ

පාසල් නිලඇඳුම් පිටින් මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පාසල් සිසුන් අට දෙනකු ඊයේ (11දා) දහවල් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරමින් සිටි සිසුන් අට දෙනෙකි. පාසල් ඇඳුම් පිටින් තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තුළ මොවුන් මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් අට දෙනාගේ මවුපියන් කැඳවා ඔවුන්ට හා සිසුන්ට තරයේ අවවාද කර වරදෙහි බරපතළකම පැහැදිලි කර දී මවුපියන්ට භාරදී ඇත.

තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතාට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon