කැලණියේ ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනයට බිරියත් අනියම් සැමියාත් 24දා තෙක් රිමාන්ඩ්

  👤  588 readers have read this article !
By mawbima 2018-07-12

චාමර අමරසූරිය,
කැලණිය - කුසුම් එස්. හැන්නදි

නිවෙසේ සාලයේ අනියම් සැමියාත් එක්ක සිටිද්දී සැමියාට අහුවුණා. ඒත් එක්කම අනියම් සැමියා මගේ සැමියාට පිහියෙන් ඇනලා මැරුවා' යැයි කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මියගිය තැනැත්තාගේ බිරිය පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ. සතියකට දෙතුන් වාරයක් සිය අනියම් සැමියා තමා සමඟ එකට සිටීමට රාත්‍රියේ නිවෙසට පැමිණෙන බවත් මෙම ඝාතනය සිදුවූ දින අලුයම 1.30ට පමණ ඔහු සුපුරුදු පරිදි නිවෙසට පැමිණි බවත් ඇය කීවාය.

ස්වාමිපුරුෂයා කාමරයෙහි නිදන බවත් නමුත් එදින හදිසියේම ඔහු මැද සාලයට පැමිණි බවත් ඇය පාපෝච්චාරණය කර තිබේ.

ස්වාමිපුරුෂයා අනියම් පුරුෂයාට පහරදුන් බවත් පසුව නිවෙස තුළ තිබූ පිහියෙන් ඔහු ස්වාමියාට ඇන ඝාතනය කළ බවත් ඇය වැඩිදුරටත් කීවාය. පසුව ඝාතනයට ලක්වූ සිය ස්වාමියාව ඔහුගේම ත්‍රිරෝද රථයට පැටවීමට තමන් අනියම් පුරුෂයාට උදවු කළ බවද ඇය පොලිස් නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කළාය.

අනතුරුව අනියම් සැමියා මෘත ශරීරය ත්‍රිරෝද රථයේම තබා මඟ දමා ගොස් සිටියදී සොයා ගන්නා ලදී. එම මෘත ශරීරය හමුවූ ස්ථානයට නුදුරින් සඟවා තිබූ ඝාතනයට යොදාගත් පිහිය සහ අනියම් සැමියා ඇඳ සිටි ලේ තැවරුණු කමිසයක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබ ඇත.

ඉකුත් 09 වැනි දින අලුයම් කාලයේ ධනුෂ්ක තරංග ගුණරත්න යන අය මෙලෙස ඝාතනය විය.

ඝාතනයට සම්බන්ධව ඔහුගේ බිරිය වූ අනූෂා හර්ෂණී පෙරේරා (37) සහ ඇයගේ අනියම් සැමියා වන සම්පත් තරංග දිසානායක යන අය කිරිබත්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර බිරිය හා අනියම් පුරුෂයා ඊයේ (11දා) සවස මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 24 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon