සාක්ෂිකරුවකු අසනීප වී ඇති නිසා නාමල් ඇතුළු 6 දෙනාට එරෙහි නඩුව ලබන 31 වැනිදා තෙක් කල් දමයි

  👤  442 readers have read this article !
By mawbima 2018-07-12

කේ.එස්. උදයකුමාර්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂිකරුවකු අසනීප වීම හේතුවෙන් එම නඩු විභාගය ලබන 31 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙරේදා (10දා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අද දින සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරු අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය වෙනත් දිනකට කල් තබන ලෙසයි.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ලබන 31 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා ද සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නම් කර ඇත.

නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර එම විත්තිකරු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අධිකරණය දැනටමත් තීරණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon