හෙරොයින් මිලදී ගන්නට මවගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන උකස් කළ පුතා රිමාන්ඩ්

  👤  3526 readers have read this article !
By mawbima 2018-07-13

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර

මත්කුඩු පානයට මුදල් ඉල්ලා එය නොදුන් සිය මවගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් උකස් කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කළ බව කියන පුතකු පෙරේදා (11දා) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු ලිහිරියාගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තැනැත්තෙකි. සැකකරුගේ මව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වී සිටින සැකකරු හෙරොයින් මිලට ගැනීමට මවගෙන් මුදල් ඉල්ලා ඇති බවත් එය නොදුන් නිසා මවගේ ගෙල බැඳි රුපියල් 30,000ක් පමණ වටිනා රන් මාලය කඩාගෙන ගොස් ගිරිඋල්ල ප්‍රදේශයේ රන් භාණඩ උකස් ගන්නා ස්ථානයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

හෙරොයින් මිලට ගැනීමට ඥාතියකුට අයිති යතුරුපැදියක්ද සැකකරු සොරාගෙන ගොස් උකස් කර මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කේ. සුදුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon