පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා නොකර වාචිකව සහ ලිඛිත ප්‍රකාශ මත උසස්වීම් දීලා

  👤  3672 readers have read this article !
By mawbima 2018-07-13

දයා පෙරේරා

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1011 දෙනකුට සහන ලබාදීමේදී අභියාචනා පරීක්ෂා කරන විට පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා නොකර වාචික හා ලිඛිත ප්‍රකාශ මත පමණක් උසස්වීම් පිරිනමා ඇතැයි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති රාජ්‍ය සේවා කොමිසමට කරුණු දක්වා තිබේ.

විනය චෝදනාවලට වැරැදිකරුවන්ව සිටි ගුරුවරු හා විදුහල්පතින් 138 දෙනාටද, ගණිතය අසමත් ගුරුවරු හය දෙනකුටද, පළාත් සභා මන්ත්‍රිවරයකුගේ බිරියකටද දේශපාලන පළිගැනීම් සහන සැලැසීම යටතේ උසස්වීම් ලැබී ඇත්තේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා නොකිරීම හේතුවෙන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් 'මව්බිම'ට කීවේය.

තමා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ මේ සියලු කරුණු රාජ්‍ය සේවා කොමිසමට පෙන්වා දුන් බවද හේ කීය.

රාජ්‍ය සේවා කොමිසම හා එහි අධ්‍යාපන සේවා කමිටුව සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වෘත්තීය සමිති මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඒකමතිකව තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ 'මව්බිම' ට පැවැසීය.

කොමිෂන් සභාව ක්‍රියාත්මක කර ඇත්තේ ජනපති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම බවත් ඇමැති මණ්ඩලයට අභියෝග කළ නොහැකි බැවින් ජනපති හා අගමැති සමඟ සාකච්ඡා කර පත්වීම් වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව පැවැසූ බවත් මහින්ද ජයසිංහ සඳහන් කෙළේය.

අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය ගුරු අධ්‍යාපන සේවය සහ ගුරු සේවයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ මේ සාකච්ඡාවට සම්බන්ධ වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon