ඉදිරි මැතිවරණවලදී මහින්ද රාජපක්‍ෂ සමඟ එක්ව තරග කරනවා ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසය

  👤  3548 readers have read this article !
By mawbima 2018-07-13

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඉදිරි සියලුම මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරගකොට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසයේ නායක දේශමාන්‍ය ආචාර්ය ජී.පී. සෙල්වම් මහතා මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය. මෙම හමුව පසුගියදා (10දා) රාත්‍රි පැවැත්වුණේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදීය.

මේ රටට නියම නිදහස ලැබුණේ 1948දී නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් මේ රට බේරාගත් 2009 මැයි මස 18 වැනි දින බවත් ඒ සඳහා මුළු රටටම නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් ජී.පී. සෙල්වම් මහතා ප්‍රකාශ කරයි.

එම නිසා ඉදිරියේදී නියමිත සියලුම මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරගවදින පුළුල් ජාතික සන්ධානයට සහාය දෙන බවත් තෙළිඟු කොංග්‍රසයේ නායකයා ප්‍රකාශ කරයි.

ඉදිරියේදී මෙරට ජීවත් වන තෙළිඟු ජනතාව හමුවී ඔවුන් සමඟ තමා සාකච්ඡා කරන බවත් එම ජනතාව ගැන සොයා බැලීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon