ආණ්ඩුවේ ප්‍රබලයන් අසුවන නිසා පාතාලය මර්දනය කරන්නේ නෑ

  👤  3775 readers have read this article !
By mawbima 2018-07-13

පාතාලය මර්දනය කිරීමට කටයුතු කළහොත් නම් ගම් සහිතව ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන් පිළිබඳ අනාවරණය වන බැවින් පාතාලය මර්දනය කිරීමට ආණ්ඩුව කිසි විටෙකත් මැදිහත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පැවැසීය.

ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ කණ්ඩායම් මඟින් පාතාලය දිගින් දිගටම මෙහෙයවන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (12දා) බොරැල්ලේ, එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත්‍රි කණ්ඩායමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ඇමැතිවරයා පසුගියදා සිංගප්පූරුවේ සංචාරයක නිරත වුණා. අපේ ජනතාව හිතුවා අගමැතිවරයා සිංගප්පූරුවට යද්දී ඔහුගේ විශ්වාසවන්තම මිත්‍රයා හිටපු මහ බැංකු අධිපතිතුමාව මෙරටට කැඳවාගෙන එන්න තමයි යන්නේ කියලා. ඉතාම පැහැදිලියි අගමැතිතුමාට මහ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන ප්‍රධාන මෙහෙයුම සිදුකළ අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගන්න බැහැ කියන එක. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණොත් එහෙම

ඉන් බරපතළ අර්බුදයකට මුහුණ දෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා.

ඔහු සිංගප්පූරුවට ගිහින් ආයෝජකයන්ගේ සමුළුවක් අමතනවා අපි දකිනවා. ඒ සමුළුව අමතද්දී එදා 2015 බලයට එන්න කියපු පොරොන්දු සියල්ල සහ කරපු ප්‍රකාශ සියල්ල අගමැතිවරයාට අමතක වෙලා තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. අගමැතිවරයා ප්‍රකාශයට පත් කරනවා අපේ රටේ අධිවේගී මාර්ග තිබෙනවා. අපේ රටේ වරායවල් තිබෙනවා. ගුවන්තොටුපළ තිබෙනවා. ඒ වගේම පෝර්ට් සිටි එක අපේ රටේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්වී තිබෙන බවත් ඔහු කියනවා. නමුත් මේ සියලු දේ මීට වර්ෂ තුනකට කලින් මේ රටේ ජනතාව නොමඟ යවන්න මේ රටේ හොරකම් දූෂණය වැඩි කරන්න අගමැතිතුමා පාවිච්චි කළා. හැමදේම විවේචනය කළා. අපි සතුටු වෙනවා. අවුරුදු 3 1/2කට පස්සේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ආරම්භ කළ ව්‍යාපෘති මේ රටේ අනාගතයට සරිලන ලෙස සකස් කළ නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාව නම් කිරීම ගැන. තමන්ගේ ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘතිය මෙයයි කියලා අගමැතිවරයාට අද ආණ්ඩුව ඉදිරියේ කියන්න බැරි වෙලා තිබෙනවා. මේ රටට ගොඩබහින ඕන කෙනකුට 2015ට පෙර තිබුණ රටයි 2015ට පසුව තිබෙන රටයි පිළිබඳව බරපතළ වෙනසක් දකින්න පුළුවන්.

අද තවදුරටත් මේ රටේ ජනතාවගේ ජීවිතය අනාරක්‍ෂිත වෙලා තිබෙනවා. රජයක් තුළින් ඕනෑම පුරවැසියෙක් බලාපොරොත්තු වන්නේ පුරවැසියන්ගේ ආරක්‍ෂාව. අපේ රටේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙලා. දවසින් දවස මිනීමැරුම් වැඩි වෙනවා. අපේ රට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාව පත් කරලා තිබෙනවා. අපරාධ සහ කුඩු ජාවාරම ගමට ගිහින් තිබෙනවා. අපේ ගම් විනාශ කිරීමේ වගකීම, ගමේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ගන්න ඕන. මොකද ගමට කුඩු අරගෙන ගිහිල්ලා අපේ සමාජය විකෘති කිරීමේ ආසාවකින් මේ ආණ්ඩුව පෙළෙනවා.

පොලිසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ රටේ කිසිම පුරවැසියෙක් සතුටු වෙන්නේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කටයුතු කරන්නේ මේ රටේ නීතිය හා සාමය ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට නොවෙයි. පාතාලයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරන්න කියලා. මොකද ඔහු පාතාලය විසින් සිදුකරන පාතාල ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්න හැසිරෙනවා. එය ඉතාමත් කනගාටුවට කරුණක්. මේ පාතාල ක්‍රියා සිදුවන්නේ ආණ්ඩුවේ මැදිහත්වීම මත යන්නත් මෙම හැසිරීම්වලින් ඉතාමත් පැහැදිලි වෙනවා.

ආණ්ඩුව දැන් විරුද්ධ පක්‍ෂයට මඩ ගැසීමේ ව්‍යාපාරය ප්‍රබලව කරගෙන යනවා. 2015 කළ මඩ ගැසීමට වැඩිය ශක්තිමත් ලෙස ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට මඩ ගහනවා. මංගල සමරවීර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මඩගැසීමේ ව්‍යාපාරය ඉතාමත් ශක්තිමත්ව ව්‍යාප්ත කරනවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත භාවිත කළා වගේ තවත් බටහිර රටක රාජ්‍ය නොවන සංවිධානයක් භාවිත කරනවා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවට මඩ ගැසීමට.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කියන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂා කරන්නේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරු. ශ්‍රී ලංකාවේ රෝ සංවිධානයේ අධ්‍යක්‍ෂ වන්නේ එතුමා කියන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. ඒ රෝ සංවිධානයේ ප්‍රාදේශීය නියෝජිතයන් බවට පත්වන්නේ දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර,

තෙල් මිල ඉහළ යෑමත් සමඟ 2015 ජනවාරි 08ට පෙර පැවැති ජනාධිපතිවරණ වේදිකාවලදී චම්පික රණවක අමාත්‍යවරයා කිව්ව ප්‍රකාශ හැමෝටම මතක් වෙනවා. අද මේ ආණ්ඩුවේ වංචනික ක්‍රියාවන් ජනතාවට පැහැදිලි වෙලා ඉවරයි. මේ ආණ්ඩුව බලයට ආවේ තෙල් මිලේ බදු ගාස්තු ඉවත් කරලා ජනතාවට සහන දෙනවා කියලා. අද චම්පික රණවකලාගේ කටවල්වලට මොකද වෙලා තිබෙන්නේ. ඔවුන් අද කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන්. මේසියලු දෙනා එකතුවෙලා තමයි තෙල් මිල ඉහළ දමලා තිබෙන්නේ. 100%ක් බදු ඉවත් කරනවා කියලා කිව්වා. හැබැයි අද තෙල් ලීටරයකින් රුපියල් 63ක් බදු ගහනවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon