ගාල්ලේදී රන් ජුබිලිය සමරමින් කරු කණ්ඩායමට ශතකයකින් සංග්‍රහ කරයි

  👤  3480 readers have read this article !
By mawbima 2018-07-13

සිරිනාම රාජපක්‍ෂ,

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..
පැණි රස කෑමක් දුර දිග යෑමෙන් දඬුවමකට ලක්වීම හේතුවෙන් තම නායකයාත් පුහුණුකරුවාත් සහ කළමනාකරුවාත් අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12දා) ගාල්ලේදී ඇරැඹුණු පළමු වැනි තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදී සියලුම දෙනා ලකුණු 287කට දැවී ගිය අතර පළමු වැනි ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 1ක් දැවී ලකුණු 4ක් ලබා සිටී. ඒ අතර තම 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න තම 8 වැනි ටෙස්ට් ශතකය ඊයේ වාර්තා කිරීමත්, ඔහු නොදැවී 158ක් ලබා සඳකැන් සමඟ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් පැවැත්වීමත් ඊයේ දිනයේ කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායමේ කළමනාකරුවා, ප්‍රධාන පුහුණුකරුවා සහ නායකයා යන තිදෙනාම තරග තහනමකට ලක්ව සිටියදී පැවැත්වෙන ගාල්ල ටෙස්ට් තරගයේ ඊයේ උදෑසන 10.00ට පළමු වැනි ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කරන්නට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භයක් ලබා දුන්නද දිනයේ 11 වැනි පන්දුවාරය යැවූ කැගිසෝ රබාඩාගේ 4 වැනි පන්දුවට කඩුලු රකින ක්වින්ටන් ඩි කොක් අතට උඩපන්දුවක් දීමෙන් ධනුෂ්ක ලකුණු 26කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 44ක් විය. ඉන් පසුව පැමිණි ධනංජයට ලකුණු 11කට වඩා රැස්කිරීමට දඟපන්දු යවන ෂම්සි ඉඩ නොදුන් අතර අංක 4 පිතිකරු ලෙස පැමිණි කුසල් මෙන්ඩිස්ද ඊයේ දිවා භෝජනයෙන් පසුව ලකුණු 24කට දැවී ගියේ ඩේල් ස්ටේන්ගේ පන්දුවකට රබාඩා අතට උඩපන්දුවක් දීමෙනි. කුසල් මෙන්ඩිස් ඊයේ ලකුණුක් ලබා ගැනීමත් සමඟ තම ටෙස්ට් ලකුණු 2000 සම්පූර්ණ කළ අතර එවන් දස්කමක් කළ 18 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාද වෙයි.

ඊයේ දිනයේ ලකුණු 50කට කඩුලු 4ක් ලබා ගත් රබාඩා හමුවේ අසීරුතාවන්ට මුහුණ දීම හේතුවෙන් කුසල්ට පසුව පැමිණි මැතිව්ස් හා රොෂේන් දෙදෙනාම 36 වැනි පන්දු වාරයේදී දැවී ගිය අතර දික්වැල්ලද ලකුණු 18කට දැවී යෑමෙන් පසුව ඉනිම ආරම්භයේ සිටම කණ්ඩායමේ බර ඇදගෙන ගිය කරුණාරත්න 55 වැනි පන්දුවාරය යැවූ ෂම්සිගේ 3 වැනි දඟ පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේ තම ටෙස්ට් රන් ජුබිලියද ගාල්ලේදී සමරමිනි.
ඡායාරූපය _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon