ගාල්ල ටෙස්ට් ක්‍රිකට් තරගය නරඹන්න පාසල් ළමයින්ට වෙනදා නැති පහසුකම්

  👤  3529 readers have read this article !
By mawbima 2018-07-13

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීම සඳහා පාසල් සිසු සිසුවියන්ට හා ආබාධිත රණවිරුන්ට විශේෂ පහසුකම් සලසා ඇත. කෙසේ වෙතත් මින් පෙරද ගාල්ලේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගාස්තුවකින් තොරව නැරැඹීම සඳහා පාසල් ළමුන්ට අවස්ථාව සලසා දී තිබුණද මෙවර විශේෂත්වය වන්නේ ළමුන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු අයකර නොගැනීම පමණක් නොව පැමිණෙන සියලුම පාසල් ළමුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ ආහාර පානද නොමිලේම සැපයීමයි.

මෙම විශේෂ වැඩසටහන යටතේ එක් පාසලකින් සිසු සිසුවියන් 50ක උපරිමයකට යටත්ව ටෙස්ට් තරගය පැවැත්වෙන සියලුම දිනයන්හිදී ක්‍රීඩාංගණයට ගෙන්වීමට සැලැසුම් කර ඇති අතර මේ සඳහා ගාල්ල නගරයේ පාසැල්වලට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ අෑත පිටිසර දුෂ්කර පාසල්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස වැනි දුෂ්කර මට්ටමේ පසල්වලටද අවස්ථාව සලසා දී තිබීමද විශේෂත්වයකි. තවද මෙසේ ටෙස්ට් තරගය සියලුම පහසුකම් සහිතව නැරැඹීම සඳහා පාසල් ළමුන්ට අවස්ථාව සැලැසීමේදී ඊට පෙර සියලුම දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් හරහා ක්‍රිකට් බලධාරීන් විසින් පාසල් වෙත දැනුම් දීමක් කරන ලදැයි පැවැසෙන අතර ඉන් ලැබුණ ප්‍රතිචාර අනුව අදාළ නාමලේඛන සෑදූ බවද මේ පිළිබඳව "මව්බිම" ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියකු කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙසේ සියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව දීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුවන්ට අවස්ථාව සලසා දෙන බවද එකී නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. එසේම අදාළ නිල ඇඳුමෙන් සැරැසී පැමිණෙන පාසල් ළමුන්ට සහ ආබාධිත රණවිරුන්ටද මෙම තරගය පැවැත්වෙන දිනවලදී ක්‍රීඩාංගණයේ ගේට්ටු විවෘත වන අතර සෑම දිනකදීම උපරිම වශයෙන් පාසල් සිසු සිසුවියන් 1000ක් පමණ සහභාගී කරවා ගැනීම තරග සංවිධායකයන්ගේ අරමුණයි. තවද මෙම වැඩසටහනට අනුව ඊයේ දිනයේ පාසල් 21කින්ද, අද දිනයේ පාසල් 21කින්ද හා හෙට දිනයේදී (14දා) පාසල් 22කින්ද මෙම ගාල්ල ක්‍රීඩාංගණය වෙත ළමුන් ගෙන්වා ගැනීමට සියලුම පහසුකම් සලසා ඇති බව දැනගන්නට ඇත.

ඡායාරූපය _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon