ශ්‍රී ලංකා ‘ඒ’ -බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය සිවුදින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

  👤  3476 readers have read this article !
By mawbima 2018-07-13

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම අතර පැවැත්වුණු තරග 3කින් යුත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයෙන් ඉනිමක සහ ලකුණු 38ක ජයක් හිමි කරගත් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඊයේ (12දා) සමත් විය.

බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් රැස්කරගෙන සිටියේය. තුන්වැනි දිනය වූ ඊයේ දිනයේදී කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 107කට සීමා කළ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 46කට කඩුලු 6ක් දවාගත්තේය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 167කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 312ක් රැස්කර තිබිණි.

මේ අතර මෙම මස 17 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා 'ඒ' සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමි වී ඇත.

ලකුණු සාරාංශය
බංග්ලාදේශ පළමු ඉනිම - ලකුණු 167
ශ්‍රී ලංකා පළමු ඉනිම - 312 (ෂෙහාන් ජයසූරිය 142, ශම්මු අශාන් 60)
බංග්ලාදේශ දෙවැනි ඉනිම _ (පන්දුවාර 45.3කදී සියයල්ලන් දැවී) - ලකුණු 107 (මලින්ද පුෂ්පකුමාර 46/6, ප්‍රභාත් ජයසූරිය 22/2, ෂෙහාන් ජයසූරිය 22/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon