පළමුවෙන්ම පෝරකයට යැවිය යුත්තේ කුඩු ජාවාරමුන් රකින දේශපාලනඥයන්වයි

  👤  3675 readers have read this article !
By mawbima 2018-07-13

පළමුව එල්ලා මැරිය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව එම ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා දෙන දේශපාලනඥයන්ව බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

පාතාලය නොමැතිව මත්ද්‍රව්‍යවලට පැවැතිය නොහැකි බවත්, දේශපාලන රැකවරණය නොමැතිව පාතාලයට පැවැතිය නොහැකි බවත් මේ සියල්ල බූවල්ලකු මෙන් සමාජය තුළ පැතිර තිබෙන බවත් පැවැසූ ඥානසාර හිමියෝ අවධාරණය කළේ දේශපාලන රැකවරණය නොමැතිව මේ කිසිවක් සිදු නොවන බවයි.

පසුගියදා ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දෙන බවට කළ ප්‍රකාශය රැඩිකල් සහ මානව හිතවාදී ප්‍රකාශයක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව ස්ත්‍රී දූෂකයන්, සොරුන් සහ ළමා අපචාරකරුවන්ටද මරණ දඬුවම ලබා දිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

බොදුබල සේනා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී ඥානසාර හිමියෝ මෙසේද කීහ.

මේ රට වෙළාගෙන තියෙන මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයටත් වඩා ඉතා දරුණු ත්‍රස්තවාදයක්. පසුගියදා ජනාධිපතිවරයා කරපු කතාවෙන් අපට පැහැදිලි වෙනවා අද මේ රට තියෙන්නේ මොන තරම් අර්බුදයකද කියලා. නමුත් අපිට මේ වෙලාවේ කියන්න තියෙන්නේ රැඩිකල් මානව හිතවාදී තීන්දු ගත යුතුයි රටේ පාලකයන් විදියට. භික්ෂුන් හැටියට අපිට මිනී මරන්න කියලා අනුශාසනා කරන්න බැහැ. හැබැයි රටේ පාලකයෝ මහණකම් කරන්න ඕන නැහැ. රටේ ප්‍රජාවගේ ආරක්ෂාව සුබසිද්ධිය වෙනුවෙන් ඔවුන් කටයුතු කළ යුතුයි.

දැන් ජනාධිපතිවරයා හරි හෝ වැරැදි බොහොම රැඩිකල් තීන්දුවක් අරගෙන ඉවරයි. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. පසුගිය කාලය තුළ මේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට හමුදාව, බුද්ධි අංශ සක්‍රියව වැඩ කළා. නමුත් අද රටේ බුද්ධි අංශ දුර්වල වෙලා තියෙනවා. මේ නිසා ලෝක කුඩුකාරයන්ගේ තිප්පොළක් බවට මේ රට පත්වෙලා තියෙනවා.
ශිෂ්ට සම්පන්න ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම තමයි මිනිස්සු එල්ලා මැරීම නෙමෙයි ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම කළ යුතුයි කියලා. අපේ රටේ ඒ පුනරුත්ථාපනය කළ යුතු තැන්වල ඉඳලාම මේක මෙහෙයවනවා නම් ඒ සම්බන්ධයෙන් අපි වෙනම සාකච්ඡාවක් ඇති කරගත යුතුයි. මේ රටේ දේශපාලකයන්ට ප්‍රතිපත්තියක් නැති එක තමයි එකම ගැටලුව. ඒ නිසා රට බින්දුවටම කඩාගෙන වැටිලා. ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැහැ.

මගේ මතය තමයි බඩට බත් නැති ජාතියකට බණ කියලා වැඩක් නැහැ. විනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඉලක්ක දීලා වැඩක් නැහැ. සදාචාර දීලා වැඩක් නැහැ. උන්ට ඕනි ජීවත් වෙන්න. මේ රටේ බහුතර ප්‍රජාවක් එක වේලක් කාලා ජීවත් වෙන්නේ. රුපියල් ලක්ෂයක් දෙකක් දුන්නහම ඕන තැනක ඉන්නවා කාටහරි වෙඩි තියලා දාන්න මිනිස්සු. ඒ තරමට රට අනාරක්ෂිත වෙලා තියෙනවා.

බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා බෙහෙත්වලට පාවිච්චි කරපු ගංජා ටිකට තහනම දැම්මා. ගංජා කියන්නේ මොන තරම් හොඳ ඔෟෂධයක්ද?. ගංජා හේන් ටික ගිනි තියනවා. හැබැයි බෝට්ටු පිටින් කේරළ ගංජා රටට එනවා. තණමල්විල වාට්ටු කියලා එකක් ලංකාවේ ඉස්පිරිතාලවල නැහැ. හැබැයි කේ.ජී. වාට්ටු තියෙනවා. කළුබෝවිල මහ රෝහලේ, කොළඹ මහ රෝහලේ කේ.ජී. වාට්ටුවක් තියෙනවා.

සුද්දා ඇවිල්ලා කිතුල් ටික තහනම් කළා. මහ ලොකුවට සුද්දන්ගෙන් නිදහස් වෙලා අවුරුදු හැත්තෑවක් කියලා කියනවා. ඒ වුණාට කිතුල් ගහට දෙන වටිනාකම මේ අවුරුදු 70ට දී ගන්න පුළුවන් වුණේ නැහැනේ, මේ කළු සුද්දන්ට.

රටේ මිනිස්සුන්ට බොන්න ඕන නම් ඒකට ප්‍රමිතියෙන් යුතු වැඩපිළිවෙළක් දෙන්න ඕන. අද බොන්න තියෙන්නේ කසිප්පු. යූරියා, මදුරු කොයිල් දාලා නීති විරෝධී විදියට මත්ද්‍රව්‍ය පෙරනවා. ඒක පාලනය කරන්නේ නැතිව ඒ බීමෙන් රෝගී භාවයට පත්වෙන මිනිස්සුන්ට වෙදකම් කරන්න එක බේත් කෝස් එකකට රුපියල් අටදාහක් විතර මේ මෝඩ ආණ්ඩුව වියදම් කරනවා.

පාලකයන්ට තාම බැරි වුණානේ රටේ මිනිස්සුනශ්‍රී ්ට දේශගුණයට, පරිසරයට ගැළපෙන විදියට මිනිස්සුන්ට බොන්න ඕන නම් ඒවා හදන්න. අපේ රටට හොර සිගරට් විශාල ප්‍රමාණයක් එනවා. මිනිස්සුන්ට බොන්න ඕන නම් හොඳ සිගරට් එකක් හදලා දෙන්න මේ පාලකයන්ට තාම බැරි වුණා.

ඒ වගේම තමයි රටේ ගැහැනු දරුවොත් මේ මත්ද්‍රව්‍යවලට දැන් යොමු වෙලා. සැබෑවටම මේ රටේ දරු පරම්පරාවට ආදරෙයි නම් මේවාට පිළියම් යෙදිය යුතුයි.

උදයන්ති මුණසිංහ

ඡායා-මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon