කරාපිටියේ ‍ෙදාස්තරලා දෙදෙනා හොද්දකට ගහ ගනිති

  👤  3783 readers have read this article !
By mawbima 2018-07-13

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ආපන ශාලාවේදී ඇතිවූ සිද්ධියක් මත එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් පසුව තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට වෛද්‍යවරුන් දෙදෙනාම එකිනෙකාට විරුද්ධව ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු සහ දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයකු මෙසේ පොලිසියට පැමිණිලි කර ඇත. ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක එකම පන්තියේ එකට ඉගෙන ගෙන ඇති සමීප මිතුරන් දෙදෙනකු වූ මොවුන් විභාග සමත් වී එකට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ දෙදෙනකු වීම විශේෂ සිද්ධියකි.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා රෝහලේ ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටින විට දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයා පුටුවෙන් නැඟිට තිබේ. එම අවස්ථාවේ ඇඟේ හැපීම නිසා ඔහුගේ ඇඟේ හොදි විසිරී ඇත. එවිට ඇඟේ හොදි විසුරුණු වෛද්‍යවරයා ජල කරාමයට ගොස් හොදි සෝදා ගෙන ආපන ශාලාවෙන් පිටතට පැමිණ තිබේ. ඒ සමඟම පිටුපසින් එළවා ගෙන පැමිණ ඇති දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදී උඹේ සාක්කුවේ පිහියක් තියෙනවා නේද? එහෙම නම් ඇනපන් කියා පවසා ඇත. එම අවස්ථාවේ අනිත් වෛද්‍යවරයාද ඔහුගේ බෙල්ලෙන් අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී පහරදීමට උත්සාහ කර ඇත.

එවිට දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයාද පිහියක් හා ස්ප්‍රේ එකක් සාක්කුවෙන් එළියට ගෙන තොට මොනවාද ඕනෑ, තෝ මරනවා යනුවෙන් කෑ ගසා ඇති බවත් පැමිණිලිවල සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතා විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon