ජනාධිපති විමර්ශන ඒකකය මා කැඳවා නැහැ - මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ලේකම්

  👤  3414 readers have read this article !
By mawbima 2018-07-13

රුචිර දිලාන් මධුශංඛ


හජ් වන්දනාවට සෞදි රජයෙන් මෙරටට ලැබෙන කෝටාව සඳහා වන්දනාකරුවන්ගෙන් රුපියල් අට කෝටි හැට හතර ලක්ෂයක් වංචා කිරීමේ සිද්ධියට අදාළව කටඋත්තර ලබා දීම සඳහා තමාට කැඳවීමක් නොකළ බවත්

ඒ සඳහා අවශ්‍ය ලේඛන පමණක් අමාත්‍යාංශ නිලධාරියකු මඟින් ජනාධිපති විමර්ශන ඒකකය වෙත එවන ලෙස තමාට ලිඛිතව දන්වා එවූ බවත් තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා 'මව්බිම'ට ලිඛිතව දන්වා එවා ඇත.

ඔහු එසේ දැනුම් දෙන්නේ "කෝටි 8ක හජ් වන්දනා කෝටාව ගැන ලොක්කන්ගෙන් අද ප්‍රශ්න කරයි" යන හිසින් ඊයේ 'මව්බිම' පත්‍රයේ පළවූ පුවත ගැන කරුණු දක්වමින් එවූ ලිපියකිනි.

අදාළ ප්‍රවෘත්තිය සාවද්‍ය බවද ලේකම්වරයා සඳහන් කර සිටී.

ප.ලි. කර්තෘ සටහන :- අදාළ වංචාවට අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ බවට අපගේ පුවතේ කිසිදු සඳහනක් කර නැත. එහි සඳහන් වන්නේ හජ් වන්දනා කටයුතුවල සිදුව ඇති අකටයුතුකම් ගැන කටඋත්තරයක් ලබාගැනීමට පමණක් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුස්ලිම් ආගමික කටයුතු අධ්‍යක්ෂවරයා ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පමණි. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම වංචාවට අදාළ ලිපි ලේඛනද සමඟ පිටත්කර යැවූ නිලධාරිවරයා ජනාධිපති විමර්ශන ඒකකය විසින් ආපසු හරවා එවා ඇති බව වාර්තා වේ.

එහි ජේ‍යෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවා තිබූ නිලධාරිවරයා රැගෙනවිත් තිබූ ලිපි ලේඛන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බැවින් සම්පූර්ණ ලිපි ලේඛනද සමඟ යළිත් ඉදිරි දිනයක පැමිණෙන ලෙස ජනාධිපති විමර්ශන ඒකකය විසින් අදාළ නිලධාරියාට දැනුම් දී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon