කිසිදු නීතියක් මම උල්ලංඝනය කරලා නෑ

  👤  4250 readers have read this article !
By mawbima 2018-07-15

ජූලි මස 08 වැනි දින ඉරිදා "මව්බිම" පුවත්පතේ පළවූ "විරෝධතා රැසයි ගම්මුන්ට විසයි, හෝටලේ යසයි" ලිපිය පිළිබඳව ෆොරස්ට් රොක් ගර්ඩ්න් ව්‍යාපෘතියේ හිමිකාර බී. චන්ද්‍රසිරි මහතා අප වෙත කරුණු දැක්වීමක් කර ඇත.

ෆොරස්ට් රොක් ගාර්ඩ්න් ව්‍යාපෘතියට විරුද්ධ වූ කරුණු ගැන කියමින් ලියුම්කරු ඔවුන් අනවසර ගල් කොරි පවත්වාගෙන ප්‍රසිද්ධියේ නීති විරෝධී මත්පැන් ව්‍යාපාරවල යෙදුණු හොර ජාවාරම්කරුවන් බව නොකියා සිටීමට පරිස්සම් වී ඇත.

පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට එක් පුද්ගලයකු විසින් දිගින් දිගටම දරන්නා වූ උත්සාහයට තවත් අතකොළුවක් බවට මෙම ලියුම්කරු ද පත්වී ඇති බැව් හා ඔහු විසින් නොදන්නා කරුණු බොහොමයක් මෙම ලිපියට ඇතුළත් විය යුතු බව උක්ත ලිපිය කියැවීමේදී මම වටහා ගතිමි.

පාඨකයන්ගේ දැනගැනීම පිණිස පාම් ගාඩ්න්, ෆොරස්ට් රොක් හා පුරාණගම සංචාරක නිකේතන ත්‍රිත්වයට ආදරය කරන දහස් සංඛ්‍යාත සෞන්දර්යවාදීන් උදෙසා ද මම මගේ හඬ අවදි කරමි.

ෆොරස්ට් රොක් ව්‍යපෘති යෝජනාව මහවැලි අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් පසු එම ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතිය හිමිවීම හා සංවර්ධනය සඳහා වෙන් කළ භූමි භාගයක් ද ඒ සඳහා මට හිමි වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම භූමිය ප්‍රථමයෙන්ම මා නිරීක්ෂණය කරීමේදී දැකගත හැකි වූයේ ගල් කොරි හතරින් බොරලු ලබා ගන්නා ස්ථාන දෙකකින්, ගල් ප්‍රෙෂර් එකකින් හා ගඩොල් කපන ස්ථානයකින් සමන්විතව තිබී අත්හැර දැමූ ප්‍රදේශයක් බවයි. එමෙන්ම මෙම භූමිය තුළ මත්පැන් ජාවාරම්කරුවන් හා තවත් ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්ව තිබූ බවයි.

මෙවන් පරිසර විනාශයක් දුටු විට මගේ හදවත බොහෝ සෙයින් කම්පා විය. කැලෑ ගිනි තබා ඇති අයුරු, ස්වාභාවික ගල් තලා විනාශ වී ඇති අයුරු, මරා දැමූ සත්ත්වයන්ගේ ඇටකටු දැක මා මහත් වේදනාවකින් නැවත පැමිණ මෙම පරිසරය ආරක්ෂා කරමින් හා සංවර්ධනය කරමින් ව්‍යපාරයක් සිදු කිරීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කළෙමි. එම සැලසුම් මල්ඵල ගන්වමින් අද වන විට රටවල් 115ක් අතුරින් හොඳම හරිත සම්මානය, හොඳම ගෘහ නිර්මාණ ශිල්පයට අදාළ ජනාධිපති සම්මානය, ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය පිරිනමන ලද හරිත සම්මානය හිමි කරගෙන ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ මෙතෙක් කල් නොවූ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය බවට පරිසරයත් බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයත් යොදා ගනිමින් සිදු කළ අති විශිෂ්ට නිර්මාණය සඳහා මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන්ගේ ආශීර්වාදය ලැබිණි. මෙම ව්‍යාපෘති යෝජනාවේම දෙවැනි අදියර වශයෙන් අද දින මාතෘකාව වී ඇති පුරාණ ගම ව්‍යාපෘතිය සඳහා වන භූමිය රජය පිළිගත් තක්සේරු වටිනාකමින් යුත් බදු මුදලින් යුක්තව මා හට මහවැලි අධිකාරියෙන් හිමිවන්නේ ද එම හේතු නිසාවෙන්මයි. බදු මුදල් යනු රජය තක්සේරු කළ මුදල් නිර්ණය මිස මා හට අවශ්‍ය මුදල් නිර්ණය නොවන බවත් මම තරයේ ප්‍රකාශ කළ යුතුමය.
එසේම මා හට එල්ල වී ඇති අනෙකුත් චෝ්දනා නම් කුඹුරු වගා කළ නොහැකිය යන්න හා ජල මාර්ග අවහිර වී ඇත යන්නයි. එම චෝදනාව මෙන්ම ෆොරස්ට් රොක් හා පුරාණ ගම ව්‍යාපෘතිය නිසා අලි - ඇතුන් ගම් වැදුණේය, වන සතුන් පලා ගියේය යන පදනම් විරහිත චෝදනා සඳහා කිසිදු ඔප්පු කළ හැකි සාක්ෂි ලියුම්කරුට නැත.

මහවැලි අධිකාරියෙන් හා මේ සඳහා අනුමැතිය ලබා දුන් සියලු ආයතනවලින් පවා ඇති කිසිදු නීතියක් මා විසින් උල්ලංඝනය කර නොමැති බවත් මා මේ අවස්ථාවේදී අවධාරණය කරමි.

ෆොරස්ට් රොක් ව්‍යාපෘතියෙන් ජනතාවට හා රටට ලැබුණු ප්‍රතිලාභ ලෙස ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ටතම ලෝක සංචාරක ව්‍යාපෘතියේ ඇගැයීමට ලක් වීම අන්දරවැට අවට වෙසෙන අහිංසක දුප්පත් ජනතාවට හා ඔවුන්ගේ දරුවන්ට ඍජු රැකියා 150ක් හා වක්‍ර රැකියා 300කට අධික ප්‍රමාණයක් ලැබීම හා රුක් රෝපණ වැඩසටහන තුළින් පරිසර සංරක්ෂණයට දායක වීම වැදගත් වේ.

මේ දක්වා ලොව පුරා වෙසෙන සංචාරකයන් දස දහස් ගණනක් පැමිණ සිටිනු අතර ඔවුන් හරහා අප රටට ලැබෙන විදේශ විනිමය ද සුවිශාලය.

පරිසරය නොනසා පරිසරය රැක ගෙන අපේ අනාගත පරපුර වෙනුවෙන් වැළලී ගිය අතීත මතකයන්, ගැමි සුවඳ හා ගම් මණ්ඩියේ සැබෑ චමත්කාර විඳ ගැනීමටත් දෙස් - විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීමටත් මා ගත් වෑයම මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු, සෞන්දර්යවාදීන් හා පරිසර හිතකාමීන්ගේ ද සම්භාවනාවට මේ වන විටත් ලක්වී තිබේ.

ලියුම්කරු මේ ලිපිය ලිවීමට පෙර අනුරාධපුරයට පැමිණ මා හා සාකච්ඡා කළේ නම් එය පුවත්පත් කලාවේ සියලු ආචාරධර්මයන් රැකීමක් සේ මම දකිමි. එය එසේ නොවීම ගැන මම අතිශය කනගාටු වෙමි. මා ඔහුටත් මෙම ලිපිය කියවන මාගේ මෙම ව්‍යාපෘතිය ගැන සැකසංකා පහළ කරගත් අයෙක් වෙතොත් ඔවුන්ටත් දිවි හිමියෙන්ම පරිසරයට ආදරය කරන මිනිසකු වශයෙන් මේ සෑම දෙනාටම විවෘත ආරාධනා කරන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් ෆොරස්ට් රොක් නිර්මාණය හා අපේකම විදහාපාන පුරාණ ගම නිර්මාණය ඔබේ දෑසින්ම දැකබලා ගන්නා ලෙසය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon