අද රට පාලනය කරන්නේ පට්ට හොරු ටිකක්

  👤  4290 readers have read this article !
By mawbima 2018-07-15

ඔබ දේශපාලනයේ නිහඬ කාලයක්ද මේ ගත කරන්නේ? සද්දයක් නෑ නේද?

සද්ද දානවා. මාධ්‍යවල යන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. කරන කතාව බැලුවම තත්පර 30ක් විතර යන්නේ. ජනවාරි 08දා සිට මං හිතන්නෙ ආණ්ඩුවට විරුද්ධව කතා කරපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් දැඩිව විශේෂයෙන් ජනාධිපතිට සහ අගමැතිට විරුද්ධව කතා කරපු කෙනෙක්.

නමුත් පාර්ලිමේන්තු නියෝගයක් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් දකින්න නෑ?

පාර්ලිමේන්තුවේ අපිට සීමා සහිත වෙලාවක් තියෙන්නේ. මං තරුණ මන්ත්‍රිවරු සමඟ ඉතාමත් සම්බන්ධයි. ඒ මන්ත්‍රිවරුන්ට ලැබෙන කාලය ඉතාමත් සීමිතයි. ඒ නිසා මම ජේ‍යෂ්ඨයෙක් හැටියට ඒ අයට අවස්ථාවක් දීලා තියෙනවා ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න.

මේ නිහඬ පිළිවෙත අනුගමනය කරන්න ඔබේ චෝදනා සමනය කරගැනීමේ උපක්‍රමයක් හැටියටයි අපි දකින්නේ?

නෑ. මං නිහඬ වෙලා නෑ කවදාවත්. මාව තමයි ඉස්සරවෙලාම හිරේ දැම්මේ. මං උසාවියට ගියොත් උසාවියෙන් එළියට ඇවිත් විනාඩි 5ක් විතර කතා කරනවා. රැස්වීමකට ගියොත් විනාඩි 30 - 35ක් කතා කරනවා. ප්‍රධාන රැස්වීම් මම අමතලා තියෙනවා. ළඟදී ඒ වුණට ඒවා මාධ්‍යවල යන්නේ තප්පර ගාණයි. හැබැයි ෆේස්බුක් ගියොත් හුඟක් අයට දැකගන්න පුළුවන් වෙයි.

ඔබ ආණ්ඩුවට ඒ තරම් පහර එල්ල කරනවා නම් ඇයි මාධ්‍ය තුළ නොයන්නේ?
හේතුව මාධ්‍ය බයයි. සමහර මාධ්‍ය මෛත්‍රි මහත්තයට ඕචජඬ කරනවා. සමහර මාධ්‍ය රනිල් මහත්තයට ඕචජඬ කරනවා.

මේ වසර අග විසුරුවා හැරීමට නියමිත වයඹ පළාත් සභා මහ ඇමැති පුටුවට තරග කරන්න ඔබ සූදානම් බවට රාවයක් පැතිරෙනවා?

එවැනි තීන්දුවක් මං කිසිසේත්ම අරන් නෑ. මං ජාතික දේශපාලනයේ ඉන්නේ. මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ ඉන්නේ. එවැනි ඉල්ලීම් ගණනාවක් කරලා තියෙනවා. හැබැයි එවැනි කිසිම තීන්දුවක් මං අරන් නෑ.

ඔබ දැන් නියෝජනය කරන්නේ මොන පක්ෂයද?

මම නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂය. මහින්ද මහතා කොහෙද ඉන්නේ. මං එතැන ඉන්නේ.

ඒ කියන්නේ ඔබ පැහැදිලි ශ්‍රී ලනිප සාමාජිකයෙක්ද?
ඔව්.

ආණ්ඩුවෙන් 16 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමඟ වාඩි වීම ගැන ඔබ නොහොඳින් ද ඉන්නේ?

නෑ. ඒක ඉතාමත්ම හොඳයි.

ඒ 16 අතර සිටින මන්ත්‍රි දයාසිරි ජයසේකර ඒකාබද්ධ විපක්ෂයට පැමිණීම වැළැක්වූවේ ඔබද?

නෑ. මම කවදාවත් එන අය වළක්වන පුද්ගලයෙක් නෙවෙයි. මම ගිය සතියේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගෙනාවා. එහිදී මං පැහැදිලිව කිව්වා මහින්ද රාජපක්ෂ මහතා ගන්න තීරණය තුළ තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටගන්නෙ කියලා. 16 නෙවෙයි තව කට්ටිය ගන්න ඕන කියලා මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කළොත්, ඒ තීන්දුව හරහා හිටගන්න පුද්ගලයෙක්.

හැබැයි විපක්ෂයෙ වාඩි වෙන්න ආපු මන්ත්‍රි දයාසිරි ජයසේකර තනි වූ පුද්ගලයෙක් හැටියටයි දැනට පෙනී යන්නේ?

ඔහු ශ්‍රී ලනිපයෙ ඉන්න ඕනෑ කියන මතයේ නේ ඉන්නේ. මං දැක්කා මාධ්‍ය හරහා ඒ බව කියනවා. අපේ කාගෙන්වත් ප්‍රශ්න ඇති වෙලා නෑ. ඒක ඔහුම මවාගත්ත ප්‍රශ්නයක්.
කෙසේ වුවත් දිස්ත්‍රික් මැතිවරණයේදී ඔබ සමඟ කරට කර තරග කරන මන්ත්‍රි දයාසිරි ඔබට යම් බලපෑමක් නේද?

එහෙම සටනක් නෑ. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එතුමත් සමඟ සටන් කරන්න කවුරුත් නෑ. අපි ඔක්කොම ඉන්නේ එතුමාගෙන් පහළ.

එළැඹෙන අවුරුදු එකහමාර රටේ දේශපාලනය තීරණාත්මකයි. මේ තීරණාත්මක සටනට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දායකත්වය කොහොමද?

ගිය පළාත් පාලන මැතිවරණයේදී මං දක්වපු දායකත්වය දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම රටේ ජනතාවත් දන්නවා. මුළු දිස්ත්‍රික්කයේම පළාත් පාලන ආයතන 21න් 20ක්ම ජයග්‍රහණය කරන්න මායි සාලින්ද මැතිතුමයි කටයුතු කළා. ඒ හැම මැතිවරණයකදීම ආණ්ඩුවට එරෙහි සටනෙ ඉදිරියෙන්ම එදාටත් වඩා කැපවීමෙන් මේ ආණ්ඩුව පෙරළන්න උපරිම දායකත්වය දෙන්න මෙදා සූදානම්.

මේ වනතෙක් නෙලුම් මාවත පැත්ත පළාතේ ගිහින් නෑ කියනවා?

අපෝ මං ගිහින් තියෙනවා. නොගියපු අය තමයි මං ගියේ නෑ කියන්නේ.

එතකොට ඔබ වියත් මඟටවත්, හරි මඟට වත් යොමු නොවන හේතුව මොකක්ද?
මම අවශ්‍ය වෙලාවේදී යන්න ඕනෑ තැනට යනවා.
ඒ කියන්නේ අවශ්‍ය වී නෑ තවම?

නෑ. එහෙම නෙවේ. අවශ්‍ය වෙලාවේදී යන්න ඕනෑ තැනට යනවා. සමහර වෙලාවට මගෙ මොනවා හරි යෙදිලා යන්න බැරි වෙන්න ඇති. හැබැයි මහින්ද මහත්තයාගේ හැම වැඩපිළිවෙළේදීම මම ඉඳලා තියෙනවා.

ඔබ අවස්ථා කිහිපයකදී කිව්වා "මං ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ, ඔහුගේ තීන්දුව මගේ තීන්දුවයි" කියලා. නමුත් ඔහුට නැවත ජනපති වීමේ ඉඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අහුරා තිබෙනවා. අවසන් මොහොතේ ඔබට කවුරු හෝ අපේක්ෂකයකුට සහාය දෙන්න වෙනවා නේද?

ඔව්...

එහෙනම් අපේක්ෂකයා කවුරුන් විය යුතුද සහ විය හැකිද?

අපේක්ෂකයා තීන්දු වෙන්න ඕනෑ නේ.

ඔබ මහින්ද රාජපක්ෂ මහතාට මුවා වී බොහෝ දේ සඟවනවා. නමුත් මේ වන විටත් අභ්‍යන්තර තීරණයක් අරන් නේද තියෙන්නේ?

කිසිම අභ්‍යන්තර තීන්දුවක් අරන් නෑ. එහෙම අභ්‍යන්තර තීන්දුවක් ගත්තා නම් මම දන්නවා. එහෙම අපේක්ෂකයකු ගැන තීන්දුවක් නෑ.

නමුත් අද වන විට ප්‍රබලම සහ ආන්දෝලනාත්මක මාතෘකාව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව. මෙය නිකම්ම නිකම් කියමනක් නෙමෙයි නේද?

මං නම් ඒ තුළ දකින්නේ නෑ කිසිම ආන්දෝලනාත්මක ස්වභාවයක් තියෙනවා කියලා.
අපිට ගෝඨාභය රාජපක්ෂ මහතා වේවා, බැසිල් රාජපක්ෂ මහතා වේවා, තවත් කවුරු හරි වේවා රාජපක්ෂ පවුලේ කෙනෙක්ද මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කරන්න ඕනෑ. අපි පිටස්තර මන්ත්‍රිවරු. පවුලේ ඒවට ඇයි අපි ගිහින් අත ගහන්නේ? මගේ තර්කය ඒකයි.

ඒ කියන්නේ රාජපක්ෂ පවුලෙන් තොර වෙන අපේක්ෂකයෙක් හෝ සිටින බවද ඔබ මේ කියන්නේ?

නෑ. මගේ හිතේ එවැනි කිසිම අපේක්ෂකයෙක් නෑ. මගේ හිතේ සිටින එකම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

නමුත් එතුමාට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකියි?
ඒක ඒ වෙලාවට බලන්න ඕනෑ.

ඒකට ඔබ උත්තර දෙන්නේ හරි පරිස්සමින්?

මං දේශපාලනඥයෙක් නේ...

ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනට කරළියේ සිටින බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් පුද්ගලයකුවත් ජනපති අපේක්ෂකයා ලෙස පිළිගන්නේ නෑ. එහෙම නේද ජනතාව මැනගත යුත්තේ?

මං කිසිම කෙනකුට විරුද්ධ නෑ.

ඒ දෙදෙනා අපේෂකත්වයට සුදුසුද නැද්ද?

ඒ දෙදෙනාගේ සුදුසුකම් තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.

ඔබලා මේ විදියට රටේ ජනතාව අන්දවන එක අසාධාරණයි නේද?

සිරිසේන ජනාධිපතිතුමාගේ ආප්ප න්‍යාය තමයි ඔහු ක්‍රියාත්මක කරන්නේ. ඒ න්‍යාය තේරෙන්නේ නැත්නම් එතැනින් එහා දේශපාලනය මං හිතන්නේ මේ යුගයට ගැළපෙන්නේ නෑ. සිරිසේන ජනාධිපතිතුමා ආප්ප කාලා තමයි දෙවැනි දවසේ ගියේ. ඒ නිසා මේ වගේ ජාත්‍යන්තරය උදවු කරන, ජාත්‍යන්තරය කියන විදියට වැඩ කරන, තමන්ට විරුද්ධව අපේක්ෂකයෙක් ගොඩනැඟෙනවා නම් හිරේ දාන්න බලාගෙන ඉන්න, මරන්න බලාගෙන ඉන්න, තමන්ට විරුද්ධව කතා කරන, තමන්ගේ ආණ්ඩුවේ වාඩි වෙලා තමන්ගේ ආණ්ඩුවත් එක්ක හොරකම් කරන්න කැමැති වෙලා තනතුරු ගන්නේ නැති අයට මේ දෙන වධ දැක්කම අපි කරන්න ඕනෑ සිරිසේන ජනාධිපතිතුමා කරපු දේ. එතැන තමයි මම ඉන්නේ.
ඒ කියන්නේ දෙවැනි "ආප්ප න්‍යායත්" ළඟයි කියලා?

ඔව්. මහින්ද මහත්තයත් කියන්නේ ආප්ප න්‍යාය හො¼දයි කියලා.

ඔබට ප්‍රබල චෝදනා රාශියක් තිබෙනවා නේද?

මට නඩු 11ක් තියෙනවා.

යම් විදිහකින් මෛත්‍රිපාල ජනපති හෝ වික්‍රමසිංහ අගමැති මැදිහත්ව ඔබේ ඔය චෝදනා යටපත් කරගන්න හැකි වුණොත් අද මෙහෙම කතා කරන ජොන්ස්ටන් හෙට දකින්නවත් නෑ කියලයි ඔබට එල්ල වන චෝදනාව?

මට තනතුරු දෙන්න කතා කළේ අපි ආණ්ඩුව පැරදිච්ච ගමන්. හැබැයි ජනවාරි 08 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් හිටගත් පුද්ගලයන්ගෙන් කෙනෙක් මං. ඒ නිසා මං කිසිකෙනෙක් පාවා දෙන්නේ නෑ. පාවා දීලත් නෑ. මං ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ. මගේ නඩු 11ටම මං හැප්පෙනවා. මං විශ්වාස කරනවා සාධාරණය ඉටු වෙයි කියලා. ඩීල්වල මම නෑ. එහෙම ඩීල් තිබුණා නම් බලවත් තනතුරු අරගෙන යන්න තිබුණා. දෙපැත්තෙන්ම මට ඒ වෙලාවේ ආරාධනා ආවා. ඩීල්වලට ජොන්ස්ටන්ව නම්ම ගන්න හැකි වෙන්නේ නෑ. හිරගෙදර පෙන්නලා මං හිරගෙදරට යැව්වා. හිරගෙදරින් එළියට එවන්න පණිඩුඩ එව්වා. ඒ එකකටවත් ඔළුව නමන පුද්ගලයෙක් නොවේ මම.

ඔබ බය නැතිව කතා කරන්නේ තව වසර එකහමාරකින් පස්සේ ගොඩනඟන්න නියමිත ආණ්ඩුවෙන් ඔය සියලු චෝදනා සෝදාගන්න හැකියි යන විශ්වාසයෙන්ද?

නෑ. මගේ නඩු 11 යට දාන්න බෑනේ. ඒ නඩු ඇත්තටම වැඩක් නැති නඩු. වත්කම් බැරකම් ඉදිරිපත් කළේ නෑ කියලා නඩු 5ක් වසරින් වසර දාලා. ඊළඟට සතොස භාණ්ඩ අරන් සල්ලි ගෙව්වේ නෑ කියලා බොරු නඩුවක් දාලා. දවස් 30ක් හිරේ. ඒ මං කිසිසේත්ම වරදක් කර නැති බව විශ්වාසයි. තමන්ට විරුද්ධ බලවේග සිටිනවා නම් ඊට විරුද්ධව නඩු දානවා.

මේ අස්සේ බැඳුම්කරය ඒකාබද්ධ විපක්ෂයට අතහැරිලද?

බැඳුම්කරයට කිසි දෙයක් වෙන්නේ නෑ යන විදියට. මේ හොරකම සම්පූර්ණයෙන් යටපත් කරලා. පළමුවැනියාට හොරකම යටපත් කරන්න උදවු කළ පුද්ගලයා තමයි රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. ඩිව් ගුණසේකර මහතාගේ කෝප් වාර්තාව එන්න පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර අභ්‍යන්තරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදවු කළා. ඊට පස්සේ කොමිසමක් දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙදි පහර දුන්නා. දීලා ඉවර වෙලා බොහොම අමාරුවෙන් මේ අය අර්ජුන් ඇලෝසියස්ලා රිමාන්ඩ් කළා. අර්ජුන මහේන්ද්‍රන්ට පිටරටට පැනලා යන්න ඉඩ දුන්නා. මන්ත්‍රිවරු ගණනාවක් සල්ලි අරන් තියෙනවා කිව්වා. ඒවා ඔක්කොම යටපත් කරගෙන යන ආණ්ඩුවක්. හොරකමට ඉඩ දෙනවා. තමන් එක්ක ඉඳගෙන හොරකම් කරනවා නම් ඕනෑ තරම් හොරකම් කරපන්. තමන්ට විරුද්ධ නම් ඕනෑ තරම් නඩු දානවා.

නමුත් බැඳුම්කර ගනුදෙනුවට ප්‍රබලම සාධකය වන හිටපු මහ බැංකු අධිපතිවරයා ලංකාවට පැමිණෙන්නේ නැතිනම් ඔහු ගෙන ඒමට බලපෑමක් කළ යුතු නැද්ද?

අපි බලපෑම් කරලා තියෙනවා. හැබැයි සමහර මාධ්‍ය ක්‍රියා කරන්නේ බලපෑම්වලට වැඩිය වෙන අරමුණුවලින්. ඔබේ මධ්‍යයට මෙහෙම කියනවා නොවේ. සමහර මාධ්‍ය ගත්තම ඔවුන්ට ලොකු වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඩොලර් මිලියන 7 නිව්යෝර්ක් ටයිම්ස් තිබ්බ එක. ඒක තමයි අද මාතෘකාව. මාධ්‍ය අසරණයි. මහින්ද රාජපක්ෂ මහතා මෙහෙම මාධ්‍ය මර්දනය කෙරුවේ නෑ. මාධ්‍ය ආයතන හුඟක් බයවෙලා ඉන්නේ. යටපත් වෙලා ඉන්නේ.

නමුත් බලය නැති මොහොතකත් රටේ වැඩිම මාධ්‍ය ආයතන ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ අතේ කියලයි ප්‍රබලම කාරණාව බවට පත්ව තිබෙන්නේ. එවැනි මොහොතක ඔබේ මේ තර්කය අසාර්ථකයි නේද?

මං විශ්වාස කරන්නේ නෑ ඒක. මහින්ද මහතාට එහෙම මාධ්‍ය ආයතන පක්ෂ නම් එහෙම පහර වදීද.

ඔබ ප්‍රබල ලෙස ආණ්ඩුවට චෝදනා කරනවා. නමුත් වත්මන් ජනාධිපතිවරයාම කියනවා තමන් හොරු එක්ක ගනුදෙනු කරලත් නෑ. කරන්නෙත් නෑ කියලා?

එතුමා හොරුන් සිටින ආණ්ඩුවකට නායකත්වය දෙන නායකයෙක්. එතුමා කයිවාරු ගැහුවට, වචන ප්‍රකාශ කළාට ඒ හැම දෙයක්ම වචන සහ කයිවාරු පමණයි.

අද වෙද්දී ඉන්ධන මිල ඉහළ යනවා. පහළ දානවා. මොකක්ද මේ පටලැවිල්ල?

මේක පටලැවිල්ලක් තමයි. ආණ්ඩුවත් පටැලවිල්ලක්. ආර්ථිකයත් පටලාගෙන ඉන්නේ.

සංවර්ධනය පටලාගෙන තියෙන්නේ. සියලුම දේ පටලාගත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ඉන්න තාක්කල් ව්‍යාපාරිකයකුට, ආයෝජකයකුට ස්ථීර වැඩපිළිවෙළකට යන්න බැරි වෙනවා. මෙහෙම තෙල් මිල ඉහළ දාන්න, පහළ දාන්න ගියොත් කෙහොමද ඛ්ධඵබ ඛ්ධදබපධත කරන්නේ සමාගමක්? මේක මහ අමු විහිළුවක්. ඒක කර්මාන්තයක් වේවා මාස් පතා ජීවත් වන සාමාන්‍ය පන්තිය සහ අඩු ආදායම්ලාභීන්ට ඔවුන්ගේ මාසෙවත් සැලසුම් කරගන්න බැරි වෙනවා. ආණ්ඩුව අද එතැනට වැටිලා ඉවරයි. එදා දවස ගෙවන ආණ්ඩුවක් මේක. මේකෙන් රටේ සමස්ත ජන ජීවිතයම විනාශ වෙලා.

හම්බන්තොට වරාය විකුණා දාන තුරු මත්තල ගුවන්තොටුපොළ 70%ක් ඉන්දියාවට පවරන තුරු සද්දේ දාපු ඒකාබද්ධ විපක්ෂයට අවම කරමින් එකක් හෝ රැකගන්න බැරි වුණා නේද?

ඒ හැමදේකින්ම අපි සටන් කළා. විපක්ෂයක් හැටියට ගන්න ඕන තීන්දු තීරණ අරගෙන අපේ සියලු දෙනා කටයුතු කළා. ඒ වෙනුවෙන් හිරේ ගියා. අපිට ආපසු ගන්න බෑනේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට සටන් කළා. අද නිල සහ නිල නොවන විපක්ෂයක් තියෙනවා. නිල වශයෙන් සිටින විපක්ෂය අපි.

ඔබලා සිටින විපක්ෂය නිල විපක්ෂය නම්, බහුතරයක් සිටියත් ඇයි මේ පවරන රටේ එක සම්පතක්වත් රැකගන්න බැරි වුණේ?

ආණ්ඩුවක් කරනවා නම්, පාර්ලිමේන්තුවේ පනත් උසාවියටත් විරුද්ධව සම්මත කරනවා නම් කොහොමද සටන් දිනන්නේ?

එහෙම ආණ්ඩුවක් ඡන්දෙකදී පරාජය කරන්න ඕනෑ . ඒ සඳහා වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කෙරුවා. පළාත් පාලන ඡන්දය අපි දිනුවා. පළාත් සභා ඊළඟට තියෙනවා. අපි ඒකත් දෙන්නේ නෑ. ගන්නවා. අපේ එකම බලාපොරොත්තුව ජනාධිපතිවරණයට ඉස්සර වෙලා මේ ආණ්ඩුව පෙරළීම. ඒ වැඩපිළිවෙළ අපි ගෙන යන්නේ මේ. මේ ආණ්ඩුව පෙරළිය යුතුමයි. ඒක තමයි මම දකින දේශපාලනය. වඩා හොඳ දේ මේ ආණ්ඩුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව තුළ පෙරළන්න ඕනෑ.

ජනාධිපතිවරයා මීට පෙර කිව්වා නේද ඒකාබද්ධ විපක්ෂයේ 96 දෙනා එනවා නම් ඊට පහුවදාම ආණ්ඩුවක් පිහිටුවන බව?

ඒ එතුමා හීනෙන් කියන දේවල්. එතුමා ඒක කවදාවත් කරන්නේ නෑ. එතුමා බොරුවට මේ කයියනෙ ගහන්නේ. දැන් ආණ්ඩුව පෙරළුවද? නිමල් සිරිපාල අගමැති කරනවා කිව්වා. කෙරුවද? අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්න කියලා. කෙරුවේ නෑනේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවන සටනත් එහෙම් පිටින්ම හේදිලා ගියේ ඔය කාරණාවත් එක්ක වගේ?

නෑ. නෑ. එතුමා අගමැති කරලා තමයි පස්ස බලන්නේ. ඒ සටන අපි අතෑරලා නෑ. රට නැවත වාරයක් ගොඩනඟන්න පුළුවන් මහින්ද මහත්තයාට පමණයි කියලයි රටේ ජනතාව විශ්වාස කරන්නේ.

එතුමා ජනපති කරවන සටන තියනවා නම් අනිවාර්යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි නේ?

අපෝ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් පැය 24න්. මේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කෙරුවේ. ඒක මහ ලොකු කජ්ජක්ද?

ඔබලා නිසැකවම ව්‍යවස්ථාව වෙනස් කරනවාද?

ඒ අවස්ථාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ.

තමන්ගේ දේශපාලන පටු අරමුණක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් වෙනස් කිරීමට යෑම සාධාරණ නෑ නේද?

කිසිම පටු අරමුණක් නෙවෙයි. අපි පිළිගන්න ඕනෑ මේ රටේ ජනතාව ඇයි පොහොට්ටුවට ඡන්දය දුන්නේ? මම හින්දාද නෑ. මහින්ද මහතා නිසා. රටේ මිනිස්සු දන්නවා මේ ආර්ථිකය හදන්න පුළුවන් රට සංවර්ධනය කරන්න පුළුවන් ඔහුට කියලා.

එච්චර විශ්වාසයක් තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ මහතා පරාද වුණේ කොහොමද?

එතුමා පරාද වුණේ මඩ ගහපු නිසා. ජාත්‍යන්තරය එය කළේ. ජෝන් කෙරිනගේ ප්‍රකාශ ඔබට මතක ඇති. එතුමට ගහපු මඩ බොරු බව ජනතාවට වැටහිලා.

අද වන විට රටේ පාතාල ක්‍රියාකාරම් ප්‍රබලට වර්ධනය වෙලා. එක් අවස්ථාවක මන්ත්‍රි නලින් බණ්ඩාර චෝදනාවක් කළා පාතාලය මෙහෙයවන්නේ ඔබලා නියෝජනය කරන පාර්ශ්වය මිස එජාපය නොවෙයි කියලා?

මම දන්නේ පාතාලය එක්ක මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. එහෙම නැත්නම් මේ මහ දවල් මිනී මරන්න බෑ. මිනිස්සු මරනවා, කපනවා, කොටනවා කෙළවරක් නෑ.

කුඩු ප්‍රශ්නයට රාජපක්ෂ පාලනයට චෝදනා කළා කුඩු ආවේ ටොන් ගණන් කියලා
. පොලිසිය කියනවා ප්‍රභූ ආරක්ෂාවට යොදන අවියක් මෑතක අහුවුණේ කියලා. රටක් විදියට කවුරුත් දැනගත යුතුයි පාතාලෙට හිස ඔසවන්න ඉඩ නොදීමට. හැබැයි අපි දැක්කානේ ඇමැතිවරු වෙඩි තියාගන්නවා. ඇයි මහින්ද මහත්තයාගේ කාලේ පාතාලේ තිබ්බේ නැත්තේ? ඇයි දැන් තියෙන්නේ? ඇයි මේ අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඒ නිසා නලින් බණ්ඩාරගෙ දේශපාලන දැනුම ගැන මං කතා කරන්න යන්නේ නෑ. ඔහුත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙනේ. මං ඔහුත් එක්ක පැටලෙන්න යන්නේ නෑ. මිනිස්සු දන්නවා ඒ ගැන. මේ වගේ අයට තමයි නියෝජ්‍ය ඇමැතිකම් දීලා තියෙන්නේ.

මොනවා කිව්වත් පාතාල ගැටුම්වලින් දේශපාලනඥයෝ හැමදාම ආරක්ෂා වුණත් සාමාන්‍ය ජනයා පීඩාවට ලක්වීම ගැන කවුරුත් කතා නොකිරීම නේද ලොකුම ඛේදවාචකය?

අද වෙද්දී පිටරට ඉන්න පාතාලයක් ගෙනත් දාලා විපක්ෂයේ අයගෙන් කවුරු කොයි වෙලේ මරලා දායිද කියලා බයෙන් ඉන්න වෙලා. මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩු කළා. එහෙම කළේ මරන්න ඉඩදෙන්න අවශ්‍ය වාතාවරණය සැකසීමට. සාමාන්‍ය ජනයාගේ විතරක් නොවේ, අද විපක්ෂයේ ඉන්න දේශපාලනඥයාගේ ජීවිතවලටත් විශාල බලපෑමක් වී තිබෙනවා.

එක් අවස්ථාවක හිටපු ආරක්ෂක ලේකම්වරයා කිව්වා තමන් සිටි සමයේ පාතාලය මැඬලීමට කටයුතු කළ ආකාරයක් ගැන, මෙය ඔබ දකින්නේ කොහොමද?

අපි දැක්කා යුද්ධ කාලෙදී පාතාලයක් කියලා දෙයක් ඇත්තටම රටේ ක්‍රියාත්මකව වුණේ නෑ. ඒක තමයි ජනතාවත් අණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ තත්ත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටට අත් කරලා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා අරක්ෂක ලේකම්. මං කිව්වොත් එහෙම ගෝඨාභය මහත්තයා තමයි පාතාලය මැඬලුවේ කියලා හෙට ගෝඨාභය මහත්තයාට නඩු දායි. එහෙම ආණ්ඩුවක්නේ මේ. අර රැඳවියන් ගැන කියලා ගෝඨාභය මහත්තයා හිරකරන්න හදන්නේ. මේ හැමදේකටම පිළිතුර සිරිසේන මහත්තයාගේ ආප්ප න්‍යාය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ නොකියන්නෙ ඔහු හිරගත කරයි කියලා බයටමද?

එහෙම නොවේ. ගෝඨාභය මහත්තයා දක්ෂයෙක්. බැසිල් මහත්තයා දක්ෂයෙක්. චමල් මහත්තයා දක්ෂයෙක්. ඔය නම් නේ යන්නේ. කවුරු දක්ෂ ද කියලා ඇත්තටම තීරණය කළ යුත්තේ මහින්ද මහත්තයා. මොකද ආණ්ඩුව යන විදියට අපි දන්නේ නෑනේ මොන මැතිවරණය එයිද කියලා. ඒ නිසා අපි මේ සියලුම බලවේග එක් කරලා මේ ආණ්ඩුව පෙරළිය යුතුයි.

දෙපැත්තට වෙලා ගහ මරා ගන්නවාට වඩා මේ පාතාල ක්‍රියා මැඬලීම නේද කාගෙත් වගකීම?

පාතාලේ උග්‍ර වීමට ආණ්ඩුව ඉඩ දීලා. ඉදිරියේදී තවත් වැඩිවෙයි. පාතාලෙට කිසිම බයකුත් නෑ. ආණ්ඩුවෙන් ඒකට ලයිසන් දීලා තියෙන්නේ.

ප්‍රබල හොරු දූෂිතයෝ කියලා චෝදනා කරමින් දූෂිත රැළ එක මිටට තියලා පරාද කරපු ජනතාවටම ඔබලා නැවත කියනවා ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්න කියලා. ඔබලා කොහොමද ජනතාවට සහතිකයක් දෙන්නේ?

දූෂිත රැළක් මහින්ද මහතා යටතේ් සිටියාය කියන එක මං සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 3ක් ගිහින් ආණ්ඩුවට. එහෙම දූෂිතයෝ හිටියා නම් ආණ්ඩුව අලුතින් හිරගෙවල් හදලා ඇතුළට දාන්නේ. දූෂිතයෝ ඉන්නෙ මේ ආණ්ඩුවේ. ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව කළේ මේ ආණ්ඩුව. හොරු හොරු කියලා අද පට්ට හොරු ටිකක්් රට පාලනය කරනවා.

සංවාදය - අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon