ලෝකයම තැති ගෙන නිදිවරා බලා හිටපු තායිලන්තයේ පැංචන් බේරාගත්තු ගුහා වික්‍රමයේ අවසන් හෝරාව

  👤  4241 readers have read this article !
By mawbima 2018-07-15

මෑත කාලයේ ලෝකයේම අවධානය දිනාගත් අනුවේදනීය සහ ත්‍රාසජනක සිදුවීමක් වී නම් ඒ තායිලන්තයේ තාම් ලුවාංග් නමැති ගුහා සංකීර්ණයෙහි සිර වූ දරුවන් සහ තරුණ පුහුණුකරුවා පිළිබඳ සිද්ධිය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ජුනි 23 වැනි දින සිට දිග හැරෙන්නට පටන් ගත් මෙම සිදුවීම් මාලාව මේ වනවිට යම් අවසානයකට ළඟා වී ඇත්තේ එම කණ්ඩායම නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවා ගැනීමේ විශේෂඥයන්, කිමිඳුම්කරුවන් ඇතුළු පිරිස සමත් වීමත් සමඟිනි. දරුවන් කණ්ඩායම පණ පිටින් බේරා ගැනීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ නැත. කොටින්ම මෙම ගලවා ගැනීමේ කණ්ඩායමෙහි සාමාජිකයන් පවා පවසා තිබුණේ ඔවුන්ට ද තිබුණේ පුංචි බලාපොරොත්තුවක් පමණක් බවත්, ඒ මත පිහිටා උපරිම උත්සාහයක් දැරූ බවත් ය.

දරු පිරිස ගුහාවෙන් පිටතට ගෙන ඒම ජීවිතයත්, මරණයත් අතර සටනක් බවට පත් වූයේ ගුහාවේ ඔවුන් සිටි ස්ථානයේ සිට එහි ‍ෙදාරටුව දක්වා කි.මී. 6කට ආසන්න දුරින් යුතු උමං මාර්ගයේ ඇතැම් තැන් සහමුලින්ම ජලයෙන් යට වී තිබීම නිසාය. එමෙන්ම සමහර තැන් සෙ.මී. 40කට (අඟල් 15 කට) වඩා පළල් නොවූ බවද පැවසිණි. අන්ධකාරය පිරි මෙම පටු උමං මාර්ග දිගේ දිය යටින් කිමිඳී ඒම වැඩිහිටියකුට පවා ඉතා අසීරු, අනතුරුදායක කටයුත්තක් විය. එසේ තිබියදී කිමිඳීම පිළිබඳ කිසිදු අත්දැකීමක්, පුහුණුවක් නොතිබුණු වයස අවුරුදු 11 සහ 16 අතර දරුවන් පිරිසක් මේ ආකාරයෙන් රැගෙන ඒම වඩාත් අනතුරුදායක කටයුත්තක් වූයේය. නමුත් මෙම අනතුර දරා ගනිමින් දරුවන් බේරා ගැනීමට තීරණය කෙරුණේ එසේ නොවී නම් තව මාස ගණනක් ගුහාව තුළ සිර වී සිටින්නට දරුවන්ට සිදුවීමට ඉඩ තිබූ බැවිනි. ඒ ඇදහැලෙමින් තිබූ මෝසම් වැස්ස නිසා ගුහාව තුළ ජල මට්ටම බැස යෑමට තිබූ ඉඩකඩ අවම වූ හෙයිනි. එමෙන්ම වැස්ස තවත් වැඩි වී නම් දරුවන් ඒ වනවිට රැඳී සිටි ස්ථානය පවා වතුරෙන් යටවීමේ අවදානමක් තිබිණි. මෙම පසුබිම තුළ වෙන විකල්පයක් නොවූයෙන් දරුවන් කෙසේ හෝ ගුහාවෙන් පිටතට ගෙන ඒමේ අති සංකීර්ණ, දුෂ්කර මෙහෙයුම පසුගිය 8 වැනි ඉරිදා පෙරවරුවේ ආරම්භ විය.

දරුවන් රැගෙන ආවේ වරකට එක් දරුවා බැගිනි. නිතරම දරුවන් සමඟ කිමිඳුම්කරුවෝ දෙදෙනෙක්ද පැමිණියහ. පසුව දැනගන්නට ලැබුණේ දරුවන් මේ ආකාරයෙන් රැගෙන ඒමේදී ඔෟෂධ මඟින් ඔවුන් නිදිබර තත්ත්වයට පත් කර තිබූ බවයි. එයට හේතුව වී ඇත්තේ පියවි තත්ත්වයෙන් සිටියේ නම් අඳුරු උමඟ තුළ දිය යටින් පැමිණෙද්දී බියට පත්ව කලබල කිරීමට ඉඩ තිබීමයි. මේ ආකාරයෙන් රැගෙන ඒමේදී දරුවන් කිමිඳුම්කරුවකුගේ සිරුරට ගැටගසා රැගෙන ආ බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. ඔවුන්ගේ මුහුණු සම්පූර්ණයෙන් ආවරණය වන සේ වැස්මක් සවි කර තිබූ අතර එය ඔක්සිජන් සිලින්ඩරයකට සම්බන්ධ කර තිබිණි. දරුවාගේ ඔක්සිජන් සිලින්ඩරයද ඔසවා ගෙන ආවේ කිමිඳුම්කරුවකුමය. ජලය නොතිබුණු තැන්වලදී දරුවන් ගිලන් මැස්සක් වැනි ආධාරකයක තබාගෙන රැගෙන විත් ඇති බවද අනාවරණය විය.

දරුවන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුවා තවමත් සිටින්නේ චියැන් රායි හි පිහිටි රෝහලේ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ය. ඔවුන්ට අවම වශයෙන් සතියක්වත් එහි ගත කිරීමට සිදුවනු ඇති බව පැවසුණු අතර මවුපියන්ට හෝ තවම ඔවුන් අසලට පැමිණීමට අවසර ලැබී නැත. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට දැනගන්නට තිබුණු තොරතුරුවලට අනුව ඔවුන්ට වීදුරු බිත්තියකින් වෙන් වූ වෙනත් කාමරයක සිට දරුවන් බැලීමට අවස්ථාව ලැබී තිබිණි. දරුවන් ගුහාව තුළ සිටියදී ඔවුන් ආසාදනයන් වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇත්ද යන්න පිරික්සා බැලීමට වෛද්‍යවරුන් විශේෂයෙන් පියවර ගත් අතර ඇතැම් දරුවන් සුළු නිව්මෝනියා තත්ත්වයක් පෙන් වූ බවද ඔවුන් අනාවරණය කර තිබිණි. කෙසේ නමුත් සමස්තයක් ලෙස ඔවුන් සියලු දෙනා යහපත් ශාරීරික සහ මානසික තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ. කෙසේ නමුත් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැනද විශේෂ අවධානයක් යොමු කිරීමට මනෝ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. දින 17කට ආසන්න කාලයක්, ජීවිතය ගැන පවා විශ්වාසයක් නැතිව ජලයෙන් පිරි අඳුරු ගුහාවක් තුළ සිරවී සිටීමෙන් ඔවුන් යම් යම් මානසික අසමතුලිතතාවන්ට ගොදුරු වී සිටීමට ඉඩක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නන් විශාදය, කාංසාව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට වැඩි ඉඩක් ඇති බව නොරහසකි. එමෙන්ම ජලයට සහ අඳුරට බිය වීම, නින්ද නොයෑම සහ නින්දෙන් බිය වීම වැනි තත්ත්වයන්ට ද ඔවුන් මුහුණ දිය හැකි බව මනෝ වෛද්‍යවරු පවසති. කෙසේ නමුත් සති කිහිපයක් ගත වෙද්දී මෙවැනි තත්ත්වයන් බොහෝදුරට සමනය වනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර මේ වනවිට කාගේත් කතාබහට ලක්ව සිටින චරිතයක් වී ඇත්තේ දරුවන් සමඟ සිටි ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වූ එක්පෝල් චන්ටාවොංග් ය. ඔහු මේ වනවිට තායිලන්ත වැසියන් අතර වීරයකු බවට පත්ව සිටින ආකාරයක් පෙනේ. එයට එක් හේතුවක්ව ඇත්තේ ගුහාව තුළ සිටියදී ඔවුන් සතුව තිබූ සීමිත ආහාර ප්‍රමාණයෙන් ඔහුගේ කොටස අනුභව නොකර එයද දරුවන් අතර බෙදා දීමට ඔහු ක්‍රියා කර තිබීමයි. මේ නිසා ඔහු මුදාගන්නා අවස්ථාව වනවිට ඉතා දුර්වල තත්ත්වයේ සිටි බවද සඳහන් විය. කලක් පැවිදි ජීවිතයක් ගත කර ඇති චන්ටාවොංග් දරුවන්ට භාවනාව පිළිබඳව ද කියා දෙමින් ඔවුන් සන්සුන්ව තබා ගැනීමට කටයුතු කර තිබේ. එමෙන්ම තමුන් ගලවා ගැනීමට කිසිවකු පැමිණෙන තුරු ශරීර ශක්තිය ඉතිරි කර ගැනීම සම්බන්ධයෙන්ද ඔහු දරුවන්ට උපදෙස් ලබා දී ඇත. කෙසේ නමුත් මේ වනවිට ඔහු කිසියම් දෝෂාරෝපණයකට ද ලක්වෙමින් සිටියි. ඒ මෙම අවදානම් කාලයේ දරුවන් ගුහාව තුළට රැගෙන යෑම සම්බන්ධයෙනි. වර්ෂාව පවතින කාලයේ ගුහාව තුළට යෑමෙන් වළකින ලෙස සඳහන් පුවරුවක් එහි ඉදිරිපිට සවි කර තිබියදීත් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඇතැමුන් චෝදනා නඟා ඇති අතර ඒ පිළිබඳව ඔහුට එරෙහිව යම් පියවරක් ගනු ඇත්ද යන්නද කතාබහට ලක්වෙමින් තිබිණි.
නමුත් මේ වෙද්දී චන්ටාවොංග් විශාල පිරිසකගේ වීරයකු වී සිටීම තුළ ඔහුට යම් සමාවක් හිමි වීමටද ඉඩ තිබේ.

කෙසේ වෙතත් දැන් කවුරුත් සිටින්නේ දරුවන් මුහුණදුන් අත්දැකීම ගැන ඔවුන්ගේ වචනවලින්ම විස්තර දැන ගැනීමේ කුතුහලයෙනි. නමුත් බලධාරීන් සඳහන් කර ඇත්තේ දරුවන් සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු වෛද්‍යවරුන්ගේ සහ මවුපියන්ගේ අනුමැතිය ලැබෙන්නේ නම් පමණක් මාධ්‍යට ඔවුන් සමඟ කතා කිරීමට අවසර ලැබෙනු ඇති බවයි. මේ අතර වාර්තා වූ තවත් විශේෂ කාරණාවක් වූයේ මෙම කණ්ඩායමේ දරුවන් අතරින් තිදෙනකු සහ පුහුණුකරු වූ චන්ටාවොංග් තායිලන්තය තුළ රැඳී සිටින සරණාගතයන් බවය. ඒ නිසා ඔවුන් මේ වනවිටත් සිටින්නේ රටක් නැති පුද්ගලයන් වශයෙන් බවද පැවසේ. සාමාන්‍යයෙන් මෙවැනි සරණාගතයන්ට රට තුළ බොහෝ දුක්ගැහැටවලට සහ අසාධාරණයන්ට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වෙයි. ඔවුන් ජීවිතය තුළ බොහෝ ගැහැටවලට මුහුණ දී තිබීමද මෙම දුෂ්කර අත්දැකීම දරා ගන්නට උදව්වක් වන්නට ඇතැයිද ඇතැමුන් සඳහන් කර තිබෙනු දැකිය හැකි විය.

මේ අතර, දරුවන් සිර වී සිටි ගුහා සංකීර්ණය කෞතුකාගාරයක් බවට පත් කර, ඔවුන් බේරා ගත් මෙහෙයුම පිළිබඳ සියලු අවස්ථා එහි ප්‍රදර්ශනය කිරීමටත්, ඒ ඔස්සේ එය ප්‍රධාන පෙළේ සංචාරක ස්ථානයක් ලෙස දියුණු කිරීමටත් තායිලන්ත රජය කටයුතු කරමින් සිටියි. එමෙන්ම ඇමෙරිකානු චිත්‍රපට සමාගම් දෙකක් මෙම සිදුවීම අලළා චිත්‍රපට නිපදවීම සඳහා තරගයක නියැළී සිටින බවද දැනගන්නට තිබේ.

නිහාල් පීරිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon