විජයකලා එජාපයෙන් ඉවත් කළ යුතුයි

  👤  3169 readers have read this article !
By mawbima 2018-07-16

ජේ.ටී.ද සිල්වා

හිටපු රාජ්‍ය ඇමැතිනි, විජයකලා මහේෂ්වරන් සිදුකළ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය ලඝුකොට නොතකා, එක්සත් ජාතික පක්ෂය සෘජු තීරණයක් ගෙන වහාම ඇය පක්ෂයෙන් ඉවත් කළ යුතු යැයි, එම පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් නායකත්වය දැනුවත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීම විහිළුවක් බවත්, විජයකලාගේ ප්‍රකාශය සජීවීව සියලු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බැවින් ඒ තරම් ප්‍රබල සාක්ෂියක් තවත් ඇද්දැයි ඔවුහු ප්‍රශ්න කර ඇති බවද දැනගන්නට ඇත.

ඇය එම ප්‍රකාශය කළ රැස්වීමේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු සිටි බැවින් ඒ ඇමැතිවරු දෙදෙනා විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශ තහවුරු කර ගැනීමට හොඳම සාක්ෂිය බැවින්, තීන්දුව ප්‍රකාශ කිරීමට කල්වැරීම කිසිසේත්ම සුදුසු නොවන බව ඔවුහු ප්‍රකාශ කර ඇති බව "සිරිකොත" ප්‍රකාශකයෙක් "මව්බිම" ට පැවැසීය.
ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බැවින්, විජයකලාගේ මන්ත්‍රි ධුරය ආරක්ෂා කිරීමට ගියහොත්, එය පක්ෂයේ පරාජයට හේතුවනවා පමණක් නොව, එහි වගකීම නායකත්වය හා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කර ඇති කමිටුවටද භාර ගැනීමට සිදුවනු ඇතැයිද එම කණ්ඩායම අවධාරණය කර ඇත.
ජේ‍යෂ්ඨ ඇමැතිවරු කිහිපදෙනෙක්ද මෙම කණ්ඩායමට එක්ව සිට ඇති බවත්, ඔවුහු මේ
පිළිබඳව පරීක්ෂණ කණ්ඩායමද දැනුවත් කර ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

විජයකලාගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂා කිරීමට පත්කර ඇති කමිටුව හමුවේ මෙම 20 වැනිදා පෙනී සිටින ලෙස විජයකලා මහේෂ්වරන්ට දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරිය කළ ප්‍රකාශයට විරුද්ධව උතුරේ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන්, උතුරේ ජනතාවද විරෝධය පළ කර තිබියදී, එ.ජා.ප.ය ඇයගේ මන්ත්‍රි ධුරය ආරක්ෂා කිරීමට යෑමෙන් රට තුළ මෙන්ම පාක්ෂිකත්වය තුළ බරපතළ විරෝධයක් ඇතිවීම
නොවැළැක්විය හැකි බව, එම පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් "මව්බිම" ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon