මම ටී - 56 අරගෙන අහසට වෙඩි තැබුවා

  👤  3381 readers have read this article !
By mawbima 2018-07-16

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

උද්ඝෝෂකයන්ගේ පහරදීම සහ කලහකාරී හැසිරීම් අනුව පොලිසියට යම් පසු බැසීමක් සිදුවුණා. මම ටී- 56 අරගෙන අහසට වෙඩි තැබුවා යැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පැවැසීය.

2011 මැයි මස 30 වැනිදා කටුනායක ආයෝජන කලාපයේ පැවැති සේවක අයිතිවාසිකම් පිළිබඳව උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරින් මියගිය රොෂේන් චානකගේ සහ බරපතළ තුවාල ලැබූ තවත් අයකු පිළිබඳ නඩුවේ සාක්ෂි කැඳවීම ඉකුත්දා මීගමුව බස්නාහිර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණරාජ මහතා ඉදිරියේ පැවැති අවස්ථාවේ සාක්ෂි දෙමින් එසේ පැවැසීය.

මීගමුව හිටපු පොලිස් අධිකාරි සුසිල් ගලප්පත්ති මහතාද මෙදින සාක්ෂි දුන්නේය.

මීගමුව අධිකරණ බලසීමාව වන කටුනායකදී රත්නසේකර පෙරුමන්සල් ආචාරිගේ රොෂේන් චානක යන අය වෙඩි තබා ඝාතනය සිදු කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද හීනටියන මංගල සම්පත් කුමාර යන අයට මරණයක් සිදුවීමට හැකිවන ලෙස බරපතළ තුවාල ඇති වන සේ වෙඩි තබා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේද වරදක් කළ බව කියන එවකට සීදූව පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා ගොනු කර තිබිණි.
මෙලෙස චෝදනා ලබා ඇත්තේ සීදූව පොලිසියේ ස්ථානාධිපති වශයෙන් සේවය කළ ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ආර්.පී.කේ. එල්. රණසිංහ නමැති නිලධාරීන් දෙදෙනෙකි.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සාක්ෂි මෙහෙයවූ අතර අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා ඊට සහාය විය.

ප්‍ර - ඔබ පොලිස් සේවයට බැඳුණු දිනය මතකද?

උ - ඔව්. 1967.07.06 දින. 1987දී සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වුණා.

ප්‍ර - ඔබ අද දින සාක්ෂි දීමට පැමිණියේ කුමන කටයුත්තක් සම්බන්ධවද?

උ - කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තිබූ උද්ඝෝෂණයක් සම්බන්ධව.

ප්‍ර - ඒ දිනය මතකද?

උ - ඔව්. 2011 මැයි මස 30දා.

ප්‍ර - එදින ඔබ රාජකාරි කළේ කොහේද?

උ - කුරුණෑගල ප්‍රදේශයේ.

ප්‍ර - එවැනි උද්ඝෝෂණයකදී විරෝධතා විසුරුවා හැරීමට නීතිමය රාමුවක් තිබෙනවාද?

උ - ඔව්. පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහය 17 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේත් තියෙනවා.

ප්‍ර - ඔබ ඒ වන විට මෙවැනි උද්ඝෝෂණ සහ විරෝධතා කීයකට පමණ රාජකාරිමය ලෙස සහභාගි වී තිබෙනවාද?

උ - අටකට පමණ සහභාගි වී තිබෙනවා.

ප්‍ර - යම් විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් මැඬපැවැත්වීමට යම් ක්‍රමවේදයක් තිබෙනවාද?

උ - ඔව්. අවස්ථානුකූල ක්‍රමවේද තිබෙනවා. අවස්ථාවට උචිත ලෙස කටයුතු කළ යුතුයි.

ප්‍ර - පොලිස් නිලධාරීන් අවි ආයුධ සමඟද කැඳවන්නේ?

උ - සාමාන්‍යයෙන් ආයුධ නැතිවයි එන්නේ. අවශ්‍ය නම් දැනුම් දෙනවා අවි ආයුධ අරගෙන එන්න කියා. උද්ඝෝෂණවලට කුඩා ගිනි අවි භාවිත කරන්නේ නැහැ.

ප්‍ර - උද්ඝෝෂණ මර්දනයේදී අවශ්‍ය වන අනෙක් උපකරණ වන ජල විදින යන්ත්‍ර සහ කැරැලි මර්දන උපකරණ කොහොමද ලබාගන්නේ?

උ - කැරැලි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බළකාය එන විට ඒ උපකරණ සමඟ තමයි එන්නේ.

ප්‍ර - උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පාලනය කරද්දී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට දෙන උපදෙස් මොනවාද?

උ - බූට්ස් පැලඳීම, හෙල්මට් සහ ප්ලාස්ටික් බඳ පටි, බැටන් හා ජැකට් එක.

ප්‍ර - භෞතික සම්පත් ලබා ගැනීමට උපදෙස් දෙන නිලධාරියා කවුද?

උ - කොට්ඨාස භාර නිලධාරීන්ට තමා වගකීම පැවැරෙන්නේ. නියෝජ්‍ය පොලිස්පතිවරයාටද වගකීමක් තියෙනවා.

ප්‍ර - කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ට පැවැරෙන්නේ මොනවාද?

උ - සන්නිවේදන පහසුකම් ලබාදීම හා නිලධාරීන් යෙදවීම.

ප්‍ර - වෙඩි තැබීමක් සිදු කළ හැක්කේ කුමන අවස්ථාවකද?

උ - මිනීමැරීමක් හෝ බරපතළ ලෙස කොල්ලකෑම සඳහා නිවාස, දේපළ, වෙළෙ¼දසල් භාණ්ඩ ගිනි තැබීම හෝ පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීමේදී. එමෙන්ම දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේ පූජනීය ස්ථානවලට මරණීය වැරැදි සිදුවන ලෙස පහර දීමට උත්සාහ කළහොත් එම කලහකාරීන් නැවැත්වීමට අනතුරට පත් තැනැත්තාගේ දේපළ ආරක්ෂා කිරීමට ඔවුන්ට වෙඩි තැබීමට අධිකාරි බලයක් තිබෙනවා.

ප්‍ර - ඒ සඳහා අනුගමනය කළ යුතු විනය ක්‍රියාමාර්ග තිබෙනවාද?

උ - ඔව්. අප ඊට කලින් අවම බලය භාවිත කර ඔවුන් විසුරුවා හැරීමට උත්සාහ කළ යුතුයි.

ප්‍ර - පෙර සූදානමකින් පසුවද වෙඩි තැබීම කළ යුත්තේ?

උ - එහෙමයි.

ප්‍ර - නියෝගයක් දිය යුතුද?

උ - දිය යුතු වෙනවා.

ප්‍ර - වෙඩි තැබීම නැවැත්වීමටත් නියෝග කළ යුතුද?

උ - ඔව්.

ප්‍ර - වෙඩි තැබීමට නියෝග දීමට හඳුනාගත් නිලධාරීන් පත් කරනවාද?

උ - පත් කර ගත යුතුයි.

ප්‍ර - 2011 මැයි මස 30 වැනිදා සිද්ධිය වෙද්දී ඔබ සේවය කළේ කොහේද?

උ - කුරුණෑගල දිසාව භාරව.

ප්‍ර - මෙම සිද්ධියට ඔබව කැඳෙව්වේ කවුද?

උ - පොලිස්පති පණිවුඩයකට දුරකථන දැනුම් දීමකින්.

ප්‍ර - සිද්ධිය වුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා කවුද?

උ - චන්දන ගලප්පත්ති මහතා.

ප්‍ර - ඔබව කැඳවා ඇත්තේ කුමකටද?

උ - නීතිය හා සාමය ආරක්ෂාවට.

ප්‍ර - කොහේද?

උ - ආයෝජන කලාපය තුළ.

ප්‍ර - කුමන හේතුවක් නිසා මෙම උද්ඝෝෂණය සිදුවන බව ඔබ දැන සිටියාද?

උ - එවකට පැවැති රජය විසින් ගෙන එන ලද පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව සිටි සේවක සේවිකාවන් මෙම පනත නිසා ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් නැති වේය කියලා බියකින් සිටියා.

ප්‍ර - මෙම ස්ථානයට ගිය පසු ඔබට මුලින්ම ලැබුණු උපදෙස් මොනවාද?

උ - අංක 4 ගේට්ටුව ළඟට නිලධාරීන් යොදවන්න. පසුව එම ස්ථානයට දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ද ආවා.

ප්‍ර - ඔවුන් මොනවාද කෙළේ?

උ - සේවක පිරිස් සමඟ සාකච්ඡා කළා.

ප්‍ර - ඔබ 4 වැනි ගේට්ටුව අසලට ගියේ කීයට විතරද?

උ - උදේ 10ට විතර.

ප්‍ර - එතැන මොකක්ද සිදුවුණේ?

උ - ගේට්ටුව ඇතුළේ 1000ක පමණ පිරිසක් සිටගෙන සිටියා. අපි උත්සාහ ගත්තා ඔවුන්ව වාඩිකරවන්න.

ප්‍ර - එතැන පොලිස් නිලධාරීන් කීයක් පමණ සිටියාද?

උ - පනහක් පමණ.

ප්‍ර - උප පොලිස් පරීක්ෂකවරුන් හිටියාද?

උ - හිටියා.

ප්‍ර - කොහේද හිටියේ ?

උ - ගේට්ටුව හා උද්ඝෝෂකයන් අතර.

ප්‍ර - පස්සේ මොකද වුණේ ?

උ - උද්ඝෝෂකයන් ගේට්ටුවට සහ ආයතනයට ගල්වලින් ගැහැව්වා. එම කර්මාන්තශාලාවල සේවකයන් එම ස්ථානයට ගෙන්වා ගත්තා. ඒ වෙද්දී සේවකයන් 5,000ක් පමණ එතැන සිටියා. අපි ඔවුන්ව වාඩි කරවීමට උත්සාහ ගත්තා.

ප්‍ර - පසුව ඔබ මොකද කෙළේ.

උ - අපි එම ස්ථානයේ හරස් අතට පොලිස් නිලධාරීන් යෙදෙව්වා. ඔවුන්ව ප්‍රධාන මාර්ගයට ඒම වැළැක්වීමට උත්සාහ ගත්තා.

ප්‍ර - ඔබලයි, සේවකයන් අතරයි පසුව මොකද වුණේ?

උ -සේවකයන්ගේ ප්‍රකෝප වීම් වැඩි වුණා. පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී ගල්වලින් ගැහැව්වා.මේ අවස්ථාවේ ඔවුන්ව විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළා. එම අවස්ථාවේදී දේශපාලන අධිකාරියේ නියෝජිතයන් කීපදෙනකු ආවා.

ප්‍ර - කවුද එසේ පැමිණියේ ?

උ - ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නිමල් ලාන්සා, සරත් කුමාරතුංග යන අය.

ප්‍ර - ඔවුන් ඇවිත් මොනවාද කළේ.

උ - රජය මේ පනත ඉල්ලා අස්කර ගන්නවා කියලා ඔවුන් කිව්වා. සේවකයන් කිව්වා ඒ බව ලිඛිතව දැනුම් දෙන්න කියලා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කිව්වා ඉල්ලා අස්කරගන්නා බව රූපවාහිනියෙන් දැනුම් දෙන බව.

ප්‍ර - ඉන් පසුව මොකද වුණේ?

උ - පොලිසියට තත්ත්වය පාලනය කිරීමට බැරි වුණා. පොලිසිය කඳුළු ගෑස් ගැහැව්වා. පසුව උද්ඝෝෂකයන් ඒවා පොලිසිය වෙතට ගැහැව්වා. පොලිස් නිලධාරීන් ආපස්සට ආවා.
උ - මම ටී - 56 ගිනි අවිය ගත්තා. ඉදිරියට ආවා. පොලිස් නිලධාරීන් ඉවත් කර මම අහසට වෙඩි තිබ්බා.

ප්‍ර - ඔබ හිස් ආවරණ පැලඳගෙනද සිටියේ?

උ - ඔව්. හෙල්මට් එකක් දමාගෙන සිටියා.

ප්‍ර - ඔබ වෙඩි තිබ්බේ කුමන දිශාවකටද?

උ - සේවකයන්ට පේන්න අහස දෙසට.

ප්‍ර - ඔබ වෙන නිලධාරීන්ට අණ දුන්නද වෙඩි තැබීමට.

උ - නැහැ.

ප්‍ර - ඔබ අහසට වෙඩි තැබූ ස්ථානය කුමක්ද?

උ -පොලිසිය ඉදිරිපිට අංක හතරේ ගේට්ටුව තියෙන පාරේ පොලිසිය පැත්තේ සිට.

ප්‍ර - කොයි මොහොතක හෝ ඔබ ඇතුළට ගොස් වෙඩි තැබීමක් සිදු කළාද?

උ - නැහැ.

නැවත සාක්ෂි විභාගය 18 දිනට කල්තැබිණි.
විත්තිය වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂි නානායක්කාර, සුමුදු ප්‍රනාන්දු සහ ඉන්දික සිල්වා යන අය සමඟ නීතිඥ මහින්ද සුගතදාස, නීතිඥ නිකිණිමාපිටිගම මෙනෙවිය පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon