මම කටින් බතල හිටවන්නේ නෑ

  👤  3276 readers have read this article !
By mawbima 2018-07-16

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනපති, අගමැති කැබිනට් ඇමැතිවරුන් මෙන්ම රටේ පුරවැසියන් සියලු දෙනාම යටත් බවත් එය ආරක්ෂා කර පිළිපැදීමට අප සියලු දෙනා බැඳී සිටින බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි හි ඉදිකළ 'නන්දකුමාර් නගර්' උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

පසුගිය මහ මැතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව ආරම්භ කළ 'යළි පිබිදුණු උදා ගම්මාන' වැඩසටහන යටතේ අද දින 90 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්වෙනවා.

අද බොහෝ අය වේදිකාවල සිට කරන බොහෝ ප්‍රකාශ අපට ඇසෙනවා. නමුත් මා වේදිකාවක සිට යම් දෙයක් ප්‍රකාශ කළහොත් එය කෙසේ හෝ යථාර්ථයක් බවට පත් කරනවාමයි. කටින් බතල හිටුවන ව්‍යාපාර මා ළඟ නැහැ. මා දෙයක් කරනවා කිව්වොත් බෙල්ල ගහලා ගියත් ඒ දේ කරනවා. උතුරු පළාතේ නිවාස ගැටලුව කෙසේ හෝ විසඳන බවට මා අද පොරොන්දුවක් ලබා දෙනවා. දේශපාලනය තුළ විවිධ අයට විවිධ අදහස් මති මතාන්තර තිබෙනවා. නමුත් අප සෑම විටම සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි. දීර්ඝ කාලීනව අප රට සහ රටේ ජනතාව ගැන සිතා කටයුතු කළ යුතුයි. අද උදා වී ඇත්තේ ඒ සඳහා උචිතම කාලයයි.

යුද්ධය නිසා ඔබේ මවුපියන් සහෝදර සහෝදරියන් නැති වුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජීවිතත් නැති වුණා. ඒ අහිමි වීම් ඔබට මටත් කියා වෙනසක් නැහැ. මටත් මගේ පියා අහිමි වුණා. නමුත් අද අප සාමකාමී වාතාවරණයක් තුළ ඉදිරියට ගමන් කළ යුතුයි. අප අතීතය දෙස බලා පාඩම් ඉගෙන ගෙන සතුරු, වෛරී ආකල්ප හරහා නැවත ගිනිකඳු නිර්මාණය වීම වැළැක්විය යුතුයි.

රටේ සෑම ස්ථානයකම විවිධ අන්තවාදී කොටස් සිටිනවා. ඔවුන් ජීවත් වන්නේ, සතුටු වන්නේ, පෝෂණය වන්නේ නැවත වරක් යුද්ධයක් නිර්මාණය වුවහොත් පමණයි. ඒ නිසා අප අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් යායුතු වන්නේ නැවත එදිරිවාදී යුගයකට නෙවෙයි. අපේ වගකීම වන්නේ එක මවකගේ දරුවන් මෙන් රටේ සියලු දෙනාටම එකට ජීවත් විය හැකි යුගයක් ඇති කිරීමයි.

මගේ පියාගේ මරණය සමඟ මගේ හිතේ ඇති වූ ආකල්පය කෙබඳු දැයි ඔබ සිතිය හැකියි. මගේ පියාගේ මරණය සමඟ මට ඇති වූ අදිටන වූයේ අප ලැබූ සාමය ස්ථිර සාමයක් බවට පත්කිරීමයි. 2015 වසරේ ජනවාරි 12 වැනිදා මගේ 48 වැනි ජන්ම දිනයදායි. උපන් දිනයදා මට ලැබුණු කැබිනට් ඇමැතිකම මා පූජනීයත්වයෙන් සලකනවා. පඩි නඩි, දීමනා, වරදාන වරප්‍රසාද හෝ වාහන, නිල නිවාස කිසිවක් ලබා නොගෙන ඒ සියල්ල මෙරටේ නිවාස ඉදිකිරීම උදෙසා 'සෙවණ' අරමුදලට බැර කිරීමට මා එදාම තීන්දු කළා. අද වන විට ඉතාම ශක්ති සම්පන්න නිවාස සංවර්ධන වැඩසටහනක් රට පුරාම ක්‍රියාත්මක වන බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon