පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී විත්තිකරු ඇද වැටී මියයයි

  👤  3090 readers have read this article !
By mawbima 2018-07-17

දමුණුපොළ - චමින්ද ජයලත්


වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් විභාග කර සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.


මෙලෙස මියගොස් තිබුණේ වරකාපොළ පොලිස් වසමේ දංඕවිට හැලගල ග්‍රාමයේ පදිංචිව සිටි නාවල දේවගේ කිංස්ලි ජයතිස්ස නමැති 33 හැවිරිදි එක්දරු පියෙකි.
කලක සිට විවිධ බිස්නස් වැඩ කරමින් සිට ඇති මොහු විදේශ රැකියා ඒජන්සියකටද සම්බන්ධ වී විදේශ රැකියා අපේක්‍ෂිතයන් එම ආයතනය වෙත සොයා දෙමින්ද සිට ඇත. මේ පුද්ගලයා වරකාපොළ පොලිස් වසමේ පුද්ගලයකුගෙන් 2017 දෙසැම්බර් මස ඕස්ට්‍රේලියා රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්‍ෂ 5 මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.


නියමිත කාලයට මෙම පුද්ගලයා විදේශ රැකියා අපේක්‍ෂිතයාට රැකියාව ලබාදීමට අපොහොසත්වී ඇති අතර ඔහු කිහිප අවස්ථාවකදීම ආපසු රුපියල් ලක්‍ෂ 05 මුදල ඉල්ලා ඇති බවද වාර්තා වෙයි. මාස 7 ආසන්න කාලයක් විදේශ රැකියාවක් ලබා නොදුන් නිසාත්, මුදල් ආපසු නොදීම සම්බන්ධයෙනුත් විදේශ රැකියා අපේක්‍ෂිතයා මීට දින කිහිපයකට ඉහතදී වරකාපොළ පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි. පසුව පැමිණිලිකරු හා විත්තිකරු ඔහුගේ බිරියද සමඟ ඉකුත් 12දා සවස වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කැඳවා විමර්ශනය කරමින් සිටියදී විත්තිකරු පොලිසියේදීම බිමට ඇද වැටී ඇත. පසුව පොලිස් නිලධාරීන් විත්තිකරු වරකාපොළ මහ රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි. පසුව 13දා සිද්ධිය වූ ස්ථානයට හා දේහය තබා තිබූ වරකාපොළ මූලික රෝහලට වරකාපොළ, තුල්හිරිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ පරීක්‍ෂා කර බලා පොලිසියට නියෝග කර සිටියේ මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.


පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් කෑගල්ල මහ රෝහලේදී සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය අවසන් නොවන බව දන්වමින් එතෙක් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර දේහය පොලිසිය විසින් බිරියට භාර කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.එම්. ජනකාන්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.පී.එස්. ප්‍රේමරත්න, උප පොලිස් පරීක්‍ෂක එච්.එස්.සී. පියරත්න යන නිලධාරීහු විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon