‘දිවයින’ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කුඩුකාරයකුගෙන් ප්‍රහාරයක්

  👤  3035 readers have read this article !
By mawbima 2018-07-17

නාරම්මල - රෝහිත ශ්‍රී හේමන්ත


නවතල්වත්ත 'දිවයින' මාධ්‍යවේදී සුගත් වීරසූරිය මහතාට පසුගිය සිකුරාදා පස්වරු 6.00ට පමණ අලව්ව අග්බෝවේදී කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයකු මරණීය තර්ජන එල්ල කරමින් පහරදී ඇත. මුඛයට හා බෙල්ල ප්‍රදේශයට තුවාල වී ඇති ඔහු අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
ආර්ථික සංවර්ධන නිලධාරියකු වශයෙන් කටයුතු කරන ඒ මහතා සේවය නිමකොට නිවෙස බලා යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත. සිදුවීම විස්තර කරන සුගත් වීරසූරිය මහතා මෙසේ කීය.


පසුගිය සිකුරාදා රාජකාරි නිමකොට යතුරුපැදියෙන් නිවෙස බලා යමින් සිටියදී පස්වරු 6.00ට පමණ අග්බෝව අම්බලම අසලදී එකපාරටම එක්තරා පුද්ගලයෙක් මාර්ගය හරස් කොට මාගේ වාහනය නතර කළා. පසුව තෝ තමයි මගේ දේවල් පත්තරයට ලියන්නේ. මින් ඉදිරියට මත්කුඩු ගැන ලිව්වොත් අත කපා මරා දමන බවත්, පොලිසිය තමන්ගේ සාක්කුවේ සිටින බවත් තර්ජනය කළා. පසුව මම අසල ඇති නිවෙසකට දිව ගොස් දිවි බේරාගෙන අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වුණා. 'මොහු අග්බෝව ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකි.'


මේ සම්බන්ධයෙන් අලව්ව පොලිස් ස්ථානාධිපති පො.ප. ටියුඩර් අබේවික්‍රම මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් විශේෂ රාජකාරියක් සඳහා පොලිස් වසමෙන් බැහැර ගොස් ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රථවාහන අංශයේ ස්ථානාධිපති තෙන්නකෝන් මහතාට පැවැරූ බවයි. ඒ අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්.බී.එම්. තෙන්නකෝන් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ මෙවන් අදහසකි.


සිද්ධිය වූ දිනම රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කර යැව්වා. ඒ වන විට ඔහු නිවෙස හැර දමා ගොස් තිබුණා. පසුව ඔහුගේ හිතවතකුගේ මාර්ගයෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර පසුව සෙනසුරාදා මධ්‍යහ්න 12ට පමණ පොලිසියට භාරවෙන බව පැවැසුවා.


එදින පස්වරු 1.30ට පමණ හෙතෙම පොලිසියට භාර වී ඇත. ඔහු පෙරේදා(15දා) දහවල් පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අලව්ව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.


මෙම සිදුවීම සම්බන්ධව අදහස් දක්වන වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතා මෙසේ පැවැසීය.
'මෙම සිදුවීම වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකිනවා. වයඹ පළාතේ බොහෝ ප්‍රදේශවල මත්කුඩු ජාවාරම තදින්ම කරගෙන යන බවත් මේ සඳහා සමහර පොලිස් නිලධාරීන්ගේ සහයෝගයද ලැබී ඇති බවත් තොරතුරු අනාවරණය වෙනවා. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කරනවා.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon