රාජ්‍ය දේපළවලට අලාභ කළ පළාත් සභා මන්ත්‍රින්ට අවවාද

  👤  3632 readers have read this article !
By mawbima 2018-07-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු වන එම්.කේ. ශිවාජිලිංගම් හාටී. රවිහරන් යන දෙදෙනාට රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (16දා) තරයේ අවවාද කොට තිබේ.

එම මන්ත්‍රිවරු දෙදෙනා සමඟ රාජ්‍ය දේපළවලට හානි සිදුකරමින් විරෝධතාවයේ නිරත වූයේ යැයි කියන පුද්ගලයන් විසි එක් දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කොට තිබේ.

2018 පෙබරවාරි මස 22දා මුලතිව් වට්ටුවාල් නාවික හමුදා කඳවුර ඉදිරිපිටදී ඉඩම් ඉල්ලා මෙම මන්ත්‍රිවරු දෙදෙනා සමඟ පිරිසක් විරෝධතාවක නිරතව සිටි අවස්ථාවේදී එතැනින් යෑමට පැමිණි පළාතේ ඉඩම් නිලධාරියාගේ වාහනයේ ගමනාගමනයට හා ඒ නිලධාරියාගේ ගමනට බාධා කළේ යැයි කියමින් ඉඩම් නිලධාරියා මුලතිව් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම නඩුව ගොනුකොට තිබිණි. මන්ත්‍රිවරුන් දෙදෙනා හා පිරිස රජයේ නිල වාහනය වටකොට ඉඩම් නිලධාරියාට යෑමට ඉඩ නොදුන් බවත් ඒ අවස්ථාවේදී වාහනයට අලාභහානි සිදු වූ බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

මෙම පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණද මන්ත්‍රිවරුන් දෙදෙනා පොලිසියට පැමිණියේ නැත.

වෙනත් අවශ්‍යතාවන් සඳහා අවස්ථා දෙකකදී මන්ත්‍රිවරුන් දෙදෙනා පොලිසියට පැමිණි අවස්ථාවලදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසුව එම මන්ත්‍රිවරුන් දෙදෙනා ඇප මත නිදහස් විණි.

පසුව පැවැති නඩු විභාගයකදී මන්ත්‍රිවරුන් දෙදෙනා අධිකරණයට පවසා තිබුණේ විරෝධතාවට විශාල පිරිසක් සහභාගි වී සිටි අවස්ථාවේදී ඒ විරෝධතාකරුවන් අතරින් ඉඩම් නිලධාරියා වාහනයෙන් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී වාහනයේ ගමනාගමනයට බාධා සිදුවූවා මිස කිසිවකුත් ඒ වාහනයට අලාභහානි නොකළ බවයි.

ජූලි මස 16දා පැවැති නඩු විභාගයේදී පොලිස් වාර්තාව සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා පොලිසිය විසින් හඳුනාගත් එම විරෝධතාකරුවන් විසි එක්දෙනාද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කොට තිබේ.

මන්ත්‍රිවරුන් දෙදෙනාට 2019 ජනවාරි මස 07 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් එදින දක්වා සෑම මසකම අවසාන සිකුරාදා අධිකරණය වෙත පැමිණ අස්සන් ලේඛනයේ අස්සන් තබන ලෙසත් නියෝග කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon