මරණ දඬුුවම එපා කියන විදේශිකයන් මත් උවදුර වළක්වන්න කිසිවක් කළේ නැහැ

  👤  3621 readers have read this article !
By mawbima 2018-07-18

අද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා කියල කෑ ගහන විදෙස් සංවිධානවලින් අපි අහන්නේ ඒ අය අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න මොනවද කළේ. කිසිම දෙයක් කරල නෑ. අද කෑ ගහන මානව හිමිකම් සංවිධාන මත්ද්‍රව්‍ය උවදුරින් ළමයින් බේරාගන්නා කිසිම දෙයක් කරලා නෑ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පැවැසීය.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (17දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවැසීය.

මෙතෙක් ඉතිහාසය තුළ අපේ රටේ දැවැන්තම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ව්‍යාපෘතිය අද ආරම්භ වෙලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රය වගේ පස් ගුණයක් විශාලයි. කළු ගඟේ ජලය උමං මාර්ගයකින් ගෙනයෑමේ කටයුතු ලබන 23 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. අලුතින් වැව් 2200ක් මේ හරහා පෝෂණය වෙනවා. මේ ව්‍යාපෘතියට සම්බන්ධ පළාත් 4ක් කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත වෙනවා. මේ පළාත් 4 තමයි වකුගඩු රෝගයට ගොදුරු වුණු ජනතාව ඉන්නෙ. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හරහා වකුගඩු රෝගය වැලඳීම නතර කිරීම සඳහා පිරිසුදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වෙලා තියෙනවා.

මේ දිනවල සංවර්ධනයක් වුණේ නෑ කියලා ජනාධිපතිතුමාට මඩ ගහගෙන යනවා. ඕනෑම නායකයෙක් පත්වුණු ගමන් සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්නේ නෑ. පළමුවැනි අවුරුදු දෙක තුළ කොයි නායකයත් එහෙමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අත්දැකීම් බහුල නායකයෙක්. අද එතුමා අපේ රට තුළ යෝධ සංවර්ධන ව්‍යාපෘති රාශියක් පටන් ගන්නවා. 'ග්‍රාම ශක්ති' වැඩපිළිවෙළ හරහා සෑම ගමකම දැවැන්ත සංවර්ධනයක් සිදුවෙලා තියෙනවා. ග්‍රාමීය ජනතාවගේ අඩුපාඩු රැසක් මේ හරහා සම්පූර්ණ වෙනවා. ඒ වගේම 'ගම්පෙරළිය' වැඩපිළිවෙළ හරහා ග්‍රාමීය ජනතාවගේ වාරි ව්‍යාපෘති රැසක් ප්‍රතිසංස්කරණය වෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර හරහා තරුණ, තරුණියන් විශාල ප්‍රමාණයක් ගොදුරු වෙලා තියෙනවා. ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒවගෙනුත් රිංගලා යන පිරිසක් ඉන්නවා. හැම පාසලක් අසලම විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමට පුරුදුවෙලා තියෙනවා. කුඩු ගෙන්වන මර්මස්ථාන සඳහා වැට බැඳලා තියෙනවා. එහෙම තිබිලත් රට විනාශ කිරීමේ අරමුණින් මේ ව්‍යාපාර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙනවා.

දැන් දැන් මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් කරනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා කියලා. අපි ඒ අයගෙන් අහනවා ඔබලා මොනවද අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර නැතිකරන්න කළේ කියලා. ඒ නිසා මේ අයගේ විවේචන ගැන අපි කනගාටු වෙනවා.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලටද මෙහිදී ශාන්ත බණ්ඩාර මහතා පිළිතුරු දුන්නේය.

* ප්‍රතිපාදන බෙදාදීමේදී එජාප සහ නිදහස් පක්ෂ අතර ගැටුම් තියෙනවා නේද?

අපි දිගින් දිගටම ඉල්ලීමක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට සමව ප්‍රතිපාදන බෙදිය යුතුයි කියලා. මේ වෙනකොට ඊට අදාළ චක්‍රලේඛයක් පවා නිකුත්කරල තියෙනවා. ගම්පෙරළිය වැඩසටහන හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ලක්ෂ 2000ක් ලැබෙනවා. ඒකෙන් ලක්ෂ 1000ක් ශ්‍රී ලනිප සභාපතිට, ලක්ෂ 1000ක් එජාප සභාපතිට ලැබෙනවා. ඒ අනුවයි ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

* සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මොකද තරුණ පෙරමුණට කියන්න තියෙන්නෙ?

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය විය යුතු තැන් තියෙනවා. ඒ ගැන යළි සංවාදයක් ඇතිවිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ.

රුචිර දිලාන් මධුශංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon