දරුවාට බියර් පෙවූ මාරයා අල්ලය

  👤  3838 readers have read this article !
By mawbima 2018-07-18

චාමර අමරසූරිය, ආරියරත්න ගනේගොඩ

නිවෙසේ පැවැති මත්පැන් සාදයක් අතරතුර තම සිඟිති දරුවාට මත්පැන් (බියර්) පෙවූ පියකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු මීගලෑව පොලිසිය විසින් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ පියා වන රෝහණ සරත් චන්ද්‍ර හෙවත් ගාමිණි (40), මොහොමඩ් සකීර් මොහොමඩ් සියාස් (38), සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23) සහ මොරගහමුල ගෙදර චන්ද්‍රසිරි හෙවත් බණ්ඩයියා (50) යන සැකකරුවන් සිවුදෙනාය.

එම සැකකරුවන් සියලු දෙනාම මීගලෑව, ගණන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සියලු දෙනාම දරුවාට මත්පැන් පොවන අවස්ථාවේ එම ස්ථානයේ එම පියා සමඟ සිටි අය බවද පොලිසිය කියා සිටී.

මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක් වෙමින් පැවැතිණි.

මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේද අවධානය යොමු විය. අනතුරුව මීගලෑව පොලිස් ස්ථානය විසින් මෙම සිද්ධිය අනාවරණය කර ගන්නා ලදී. මෙය සිදු වී තිබෙන්නේ මීගලෑව පොලිස් වසමේ 313, ගණන්ගමුව ප්‍රදේශයේදී බවට අනාවරණය කරගත් අතර සිද්ධියට භාජන වූ ළමයා වයස අවුරුදු 01යි මාස 01ක පිරිමි දරුවකු බවද හෙළි විය.

පෙරේදා (16දා) දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලදී. මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ පසුගිය 14 වැනි දින බවට කරුණු අනාවරණය වී ඇත. වැඩිදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 අ. වගන්තිය යටතේ වූ ළමයින් කෘෘරත්වයට භාජන කිරීමේ වරද සම්බන්ධයෙන් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

සැකකරුවන් සිවුදෙනා අද (18දා) දින ගලිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගලෑව පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon