බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා 'ඒ' පිල පළමු එක් දින තරගය පරදී

  👤  3576 readers have read this article !
By mawbima 2018-07-18

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම අතර පවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම ඊයේ (17දා) සමත් විය.

බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24ක් ලබා සිටි සෞම්‍ය සර්කාර් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ පන්දුවකට දැවී ගියේය. එම දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහරදීමට පිවිසි සකීර් හසන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ නොදුන් මලින්ද පුෂ්පකුමාර සකීර් හසන් ලකුණු 18කට පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් මිස්නුර් රෙහෙමාන් ලකුණු 67ක්, ෆසීල් මහමුද් ලකුණු 59ක්, අරිෆුල් හක් ලකුණු 47ක් සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායමේ නායක මොහොමඩ් මිතුන් ලකුණු 44ක් ලබා ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 280ක් දක්වා ඉහළ නැංවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශෙහාන් මධුසංක, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, තිසර පෙරේරා සහ මලින්ද පුෂ්පකුමාර එක් කඩුල්ල බැගින් බිඳහෙළීය.

ඒ අනුව ලකුණු 281ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නෝ ලකුණු 3ක් ලබා සිටි සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර උපුල් තරංගට ලබා ගත හැකි වූයේ ලකුණු 10ක් පමණි. ළහිරු තිරිමාන්න ලකුණු 29ටත් ශෙහාන් ජයසූරිය ලකුණු 20ටත් දැවී ගිය අතර අශාන් ප්‍රියන්ජන් ලකුණු 42ක් ලබා ගත්තේය. නායක තිසර පෙරේරා ලකුණු 22ක් ලබා සිටියදී කලීඩ් අහමඩ්ගේ පන්දුවකට දැවී ගිය අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 78කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේය. ශම්මු අශාන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 28ක් පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී සටන්කාමී පිතිහරඹයක් දියත් කළ ශෙහාන් මධුසංක පන්දු 12කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී කලීඩ් අහමඩ් කඩුලු 4ක් සහ ශරිෆුල් ඉස්ලාම් කඩුලු 3ක් බිඳහෙළීය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ ඉනිම _ (පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 7කට) ලකුණු 280 (මිසනූර් රහමාන් 67, ෆාසිල් මහමුද් 59, දසුන් ශානක 24/1, තිසර පෙරේරා 44/1)
ශ්‍රී ලංකා ඉනිම _ (පන්දුවාර 50කදී සියලු දෙනා දැවී) ලකුණු 278 (දසුන් ශානක 78, අශාන් ප්‍රියංජන් 42, කලීඩ් මහමුද් 72/4, ශරිෆුල් ඉස්ලාම් 54/3)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon