හෙල්මටයකින් ඔළුවට පහර දීම නිසා පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය උතුරු මැද පොලිස් නිලධාරීන්, පහර දුන් නිලධාරියාට එරෙහි පරීක්ෂණ යට ගහනවා මියගිය අයගේ බිරිය පොලිස්පතිට ලියයි

  👤  3697 readers have read this article !
By mawbima 2018-07-18

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

හෙල්මට් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා යතුරුපැදියක පසුපස ගමන් කරමින් සිටි සැමියාගේ හිසට වැදී ඔහු ජීවිතක්ෂයට පත්වී මසක් ගතවී ඇතත් තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වමින් උතුරු මැද පළාතේ වගකිව යුතු සියලු උසස් පොලිස් නිලධාරීන් මුනිවත රකිමින් සිටින බව පවසමින් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ බිරිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රාජාංගණය, සිරිමාපුර, හොරොම්බාගම, ගල්වල පාර පදිංචි ඩී. කරුණාවතී (48) මහත්මියයි. එම පැමිණිල්ල සමඟ සිය සැමියා තඹුත්තේගම පොලිසියේ නිලධාරියාගේ පහර කෑමට ලක්ව සිහිසුන්වී යතුරුපැදියේ පසුපසට වැටෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) දර්ශනයක ඡායාරූපයක්ද පොලිස්පතිවරයාට යොමුකර තිබේ.

බිරියගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිය සැමියා වූ ජී.බී. කුලතුංග (55) මැයි 19 වැනි දින නිවෙසේ සිට රාජාංගණය වැව් ඉවුරට හරක් බැඳීම සඳහා සිය වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා සමඟ යතුරුපැදියෙන් යමින් සිටියදී රාජාංගණය තුනේ කණුව ප්‍රදේශයේ රාජකාරියේ නිරතවී සිටි තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතන ලෙස අණ කර ඇති බවයි.

ඒ අවස්ථාවේ ඔවුන් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) පැලඳ නොසිටි නිසා යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීමට සහෝදරියගේ පුත්‍රයා කටයුතු කර ඇති බවත් ඒ අවස්ථාවේ උරණ වූ පොලිස් නිලධාරියකු මාර්ගයට පැන යතුරුපැදිය පැදවූ ඥාති පුත්‍රයට හිස්වැසුමකින් පහරදී ඇති බවත් ඔහු ප්‍රහාරයෙන් බේරී ඇතත් යතුරුපැදියේ
පිටුපස සිටි සිය සැමියා එම හෙල්මට් පහරට ලක්වී ක්ලාන්ත වී යතුරුපැදියෙන් වැටී ඇති බවත්ය.

හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිය සැමියා තඹුත්තේගම රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා දින අටක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තවත් දින හයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 31 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිහි නොමැතිවම තඹුත්තේගම රෝහලට මාරුකර එවා ප්‍රතිකාර ලබමින් සිටියදී ජුනි මස 07 වැනි දින ජීවිතක්ෂයට පත්වූ බවයි.

සිද්ධිය සිදුවූ දින සිට මේ දක්වා තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සිට උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා පැමිණිලි කළත් උසස් පොලිස් නිලධාරියා ඇතුළු පිරිස ඝාතකයා බේරාගැනීමට සිද්ධිය යටගසමින් සිටින බවත් පැමිණිලිකාරිය පොලිස්පතිවරයාට වැඩිදුරටත් දන්වා
තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon