ශ්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුමෙන් මැතිසබය රත්වෙයි

  👤  3645 readers have read this article !
By mawbima 2018-07-18

ගැසට් නිවේදනයක්' සොයා ගැනීමට නොහැකි වූ නිසා ඊයේ (17 වැනිදා) පාර්ලිමේන්තුවේ මැතිසබය උණුසුම්කාරී තත්ත්වයකට පත්විය.

මෙම ආන්දෝලනාත්මක ගැසට් නිවේදනය වූයේ කුමක්ද? එය ග්ලයිෆොසේට් පොහොර තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනයයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කවුරුන් විසින්ද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මේසය මත මෙම ගැසට් නිවේදනය නොතිබීමට හේතු කුමක්ද? කියා යන කරුණු මතුවීමත් සමඟම මැතිසබය තුළ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

හදිසි කාරණයක් මතු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් මෙම කාරණය ප්‍රථමයෙන්ම මතු කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධනය.

මේ රටේ වකුගඩු රෝගය දරුණු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා තමයි ග්ලයිෆොසේට් විස රසායන ද්‍රව්‍ය තහනම් කළේ. දැන් ගැසට් නිවේදනය මඟින් එම තහනම ඉවත් කළා. කැබිනට් මණ්ඩල අනුමැතියකින් තහනම් කරන ලද තීරණයක යළි තහනම ඉවත් කළ යුතු වන්නෙත් කැබිනට් මණ්ඩල අනුමැතියකින්මයි. දැන් මේ ගැසට් එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මේසෙ උඩත් නැහැ. මේ ගැසට් එක හොයාගන්නත් නැහැ. මේ ආණ්ඩුව මොකද කරන්නේ. නිලධාරීන් කිහිපදෙනකුට ඕන විදියටද මේවා සිදු කෙරෙන්නේ. දිනේෂ් ගුණවර්ධන දැඩිව ප්‍රකාශ කළේය.

'මේ ගැන අදාළ ඇමැතිතුමාට මං යොමු කරන්නම්' යනුවෙන් ඊට පිළිතුරු ලබාදුන්නේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලය.

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පක්ෂද? විපක්ෂද? ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පුළුවන්නම් දැන් කියන්න. එසේ ප්‍රකාශ කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා දෙස බැලුවේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

මේ ආණ්ඩුව වගේ අපි වැනි වැනි ඉන්නේ නැහැ. මං මේ තහනමට කැමැතියි. යනුවෙන් දිනේෂ් ගුණවර්ධනප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය.

අවුරුදු 20ක්ම බාල පොහොර ගෙනැල්ලා වකුගඩු රෝග ඇතිකිරීම සඳහා මුල්වුණේ මේගොල්ලන්. පොහොර සහනාධාරය දේශපාලන අතකොළුවක් කරගෙන මේ තත්ත්වය ඇති කළේ මේගොල්ලන්ම තමයි. අවුරුදු 20ක්ම මේ නිසා පස විනාශයට පත්වුණා. යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සමඟම නැඟී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ය. ග්ලයිෆොසේට්වලට විරුද්ධව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද විශාල සටනක් ගෙනයන නිසා රතන හිමියන්ගේ අදහස් දැක්වීම කෙරෙහිද මැතිසබයේ සිටි බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

ග්ලයිෆොසේට් තහනම ඉවත්කරපු ගැසට් පත්‍රය කිසිම කෙනෙකු ළඟ නැහැ. මේක ඉතා බරපතළ තත්ත්වයක්. එම බරපතළ තත්ත්වයන් සලකා බලන්නේ නොමැතිව මේ වගේ තීරණ ගන්නේ කොහොමද? මේකට වගකිවයුත්තේ කවුරුන්ද? පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ දැඩි ලෙස විමසා සිටියහ.

'මේ ගැන මං අවධානය යොමු කරන්නම්.' කථානායකවරයා ප්‍රකාශ කළේය.

එම පිළිතුරෙන් සෑහීමකට පත්නොවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිගින් දිගටම ආණ්ඩුවෙන් විමසා සිටියේ ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීම සඳහා ගැසට් නිවේදනය නිකුත් කළේ කවුද? කියාය.

මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරනවාත් සමඟම එම මාතෘකාව ගැන කථාව අවසන් කෙරිණි.

එම උණුසුම් තත්ත්වය එසේ පහව ගියද යළි මැතිසබය රත්වෙන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අවස්ථාවේදීය.

කල්තැබීමේ යෝජනාවක් ලෙස මෙම යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා දැඩිව කියා සිටියේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අවලංගු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.

අපි මේ කතා කරන්නේ ස්වදේශීය කර්මාන්තකරුවන් ගැනයි. මේ කර්මාන්තකරුවන් විශාල බියකිනුයි ඉන්නේ. යනුවෙන් දිනේෂ් ගුණවර්ධන චෝදනා නැඟීය.

නෑ... නෑ... කවුරුත් එහෙම බයක් නැහැ. යනුවෙන් තමාගේ අතිනුත් නැහැ කියමින් සංඥා කරමින් පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය.

අපි කතාකරන්නේ දේශීය කර්මාන්තකරුවන් පිළිබඳයි. නමුත් ඔබතුමා කතාකරන්නේ විදේශ කර්මාන්තකරුවන් ගැනයි යනුවෙන් දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.
මේ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මුත්‍රා සාම්පල ගැන ප්‍රශ්නයක් කථානායක වෙත යොමු කළේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්ය.


ගරු කථානායකතුමනි, අද 'මව්බිම' පුවත්පතේ වාර්තාවක් පළ වෙලා තියෙනවා, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කරන්න ඕන කියලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා කියලා. ජී. එම්. ඕ. එකෙන් එහෙම ඉල්ලීමක් ඔබතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවාද? යනුවෙන් මුජිබර් රහුමාන් විමසා සිටියේය.
එම ප්‍රශ්නයට සියල්ලෝම සිනාසුණහ.

එහෙම ඉල්ලීමක් ඉදිරිපත් වෙලා නැහැ කථානායකවරයා ප්‍රකාශ කළේද මුවගට යම් සිනහවක් නඟමිණි.

යළිත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර උණුසුම් මෙන්ම රසවත් වාද විවාද ආරම්භ වූයේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන විවාදය යළිත් ආරම්භ වූ අවස්ථාවේදීය.

මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කළ යුතු යැයි යෝජනා කරමින් දිනේෂ් ගුණවර්ධන විසින් ගෙන එන ලද පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව ස්ථිර කරන ලද්දේ ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි.

ජනාධිපතිතුමයි, කැබිනට් මණ්ඩලයයි නොමඟ යවලයි මලික් සමරවික්‍රම ඇමැතිතුමා මෙම ගිවිසුම අස්සන්කරලා තියෙන්නේ. සුද්දාගේ ඉංග්‍රීසියෙනුත් තියෙනවා, රටේ නීතියට අනුව මෙම ගිවිසුම අස්සන් කළ යුතුයි කියලා යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ඊට මලික් සමරවික්‍රම යමක් කීවේය.

සුද්දාගේ ඉංග්‍රීසියෙන් පමණක් නොවෙයි, ශුද්ධ සිංහලෙනුත් තියෙනවා, රටේ නීතියට අනුව මෙම ගිවිසුම අස්සන් කළ යුතුයි. යනුවෙන් පෙන්නා දුන්නේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාටයි, බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමාටයි දිරච්ච ලණුවක් දීලා තියෙන්නේ. මේ මන්ත්‍රිවරු දෙදෙනාගේ ප්‍රකාශ සියල්ලම අසත්‍යයි. මේ ගැන සාකච්ඡා කරන්න මං මේ මන්ත්‍රිවරුන් දෙදෙනාටම ආරාධනා කළා. කවුරුත් ආවේ නැහැ යනුවෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"මේ මොනවද කියන්නේ අපිට ඇවිල්ලා ඔබතුමා හමුවෙන්න බයයි" යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාව සියල්ලෝම සිනහසුණහ.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රිවරයා සහ කරු ජයසූරිය කථානායකවරයා අතරද උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
රීති ප්‍රශ්නයක් මතුකරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ දිවුරුම් දීමේ ඡේදය කියෙව්වේය.

මේ සමඟම කරු ජයසූරිය කථානායකවරයා කියා සිටියේ මතු කිරීමට යන කාරණය පිළිබඳව පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ බවයි. එම කාරණය ගැන නීතිපති උපදෙස් ලැබුණු පසුව ඒ ගැන දැනුම් දෙන බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.

කථානායකවරයාගේ එම ප්‍රකාශයෙන් තමා මහත් පුදුමයට පත් වූ බවක් පෙන්වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා "මාර කථානායක කෙනෙක්නේ." යනුවෙන් උස් හ¾ඩින් පැවැසුවේය.
"ටිකක් සද්ද අඩු කරලා කතා කරන්න. මාර කථානායක කියලා කිව්වා "මාර" කියන එක ඉල්ලා අස් කරගන්න" යනුවෙන් කථානායකවරයා දැඩි ලෙස අවධාරණය කළේය.
"මං කියන්න යන කතාව ඔබතුමාවත් කවුරුවත් දන්නේ නැහැ. මං විතරයි දන්නේ" යනුවෙන් විමල් වීරවංශ ඊට ප්‍රතිචාර දැක්වීය.

ඉන්පසුව යළිත් මැති සබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

"මේ කාරණය ගැන තීරණයක් ගන්න නීතිපතිගෙන් උපදෙස් එනතුරු අනන්තය දක්වාම බලාගෙන ඉන්නවාද? යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
තීරණයක් ගැනීමට අනන්තය දක්වා බලා සිටීමට අනවශ්‍ය බවත් නීතිපති උපදෙස් ලැබුණු පසුව තීරණය දැනුම් දෙන බවත් කථානායකවරයා පැවැසුවේය.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විවාදයට එක්වෙමින් ආණ්ඩුවට යෝජනා කළේ මෙම ගිවිසුම හරහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමටත් ක්‍රියා කළ යුතු බවයි.

එවැනි දෙයක් ගිවිසුම හරහා ක්‍රියාත්මක කළ නොහැකි බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයාට හැකි නම් අර්ජුන මහේන්ද්‍රන් රැගෙන එන ලෙසත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කැලණියේ කේරළ ගංජා ජාවාරමකට කැලණියේ අමාත්‍යවරයකුගේ ආරක්‍ෂක නිලධාරියකු සම්බන්ධ බවත් මේ ගැනහෙළිදරව් කිරීමට ගිය නෙත් ජ්ර් ආයතනයට මෙම අමාත්‍යවරයා බලපෑම් සිදුකර තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.

පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකුට රැකවරණය ලබාදෙන මෙම අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට ජනාධිපතිතුමා විසින් සේවා දිගුව ලබාදෙන විට ඊට විරෝධය පළ කළ බවද විමල් වීරවංශ පෙන්වා දුන්නේය. මෙම අමාත්‍යවරයා සරත් ෆොන්සේකා මහතා බවද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී සභාවේ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයකි.
"දැන් මීට කලින් කතා කරපු කුණු බක්කිය තමයි ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉස්සරවෙලාම සිංගප්පූරුවට යවන්නේ.

අපේ කිසිම අමාත්‍යවරයකු පාතාලයට සම්බන්ධ නැහැ. පාතාල සාමාජිකයන් බේරගන්න කියලා කිසිම අමාත්‍යවරයෙක් පොලිසියට බලපෑම් කරලා නැහැ. ඒ කාලේ කුඩු කන්ටේනර් පිටින් ගෙන්නුවේ කවුද? පාතාල කල්ලි සාමාජිකයන් සමඟ මඟුල් ගෙවල්වල හිටියේ කවුද? කියලා අපි ළඟදීම හෙළි කරනවා" යනුවෙන් නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ 70කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුල්වරට ඊයේ (17දා) දින රැස්විය. කමිටු ශාලා අංක 5දී පැවැත්වුණු මෙම රැස්වීම ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ජෝන් සෙනෙවිරත්න, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර පැමිණ නොසිටියේ දයාසිරි ජයසේකර පමණි.

ඒකාබද්ධ විපක්‍ෂය යටතේ එක් කණ්ඩායමක් වශයෙන් කටයුතු කර ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී සිදුකිරීමට නියමිත දැවැන්ත විරෝධතා ව්‍යාපාර ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා සවස 4.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී එක්සත් ජාතික පක්‍ෂයේ පසු පෙළින් පැමිණිලි කිහිපයක්ම අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් විය.
පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හා ඇතැම් පිරිස් අදාළ ආසනයේ ප්‍රධාන සංවිධායක දැනුවත් නොකර තම ආසනවලට පැමිණ පක්‍ෂයේ වැඩකටයුතු සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් විය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මන්ත්‍රිවරුන් විසින් මෙම පැමිණිලි අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

මේ ආකාරයෙන් දිගටම සිදුවෙනවා නම් ඔවුන්ගේ ප්‍රධාන ආසන සංවිධායක ධුර ද එසේ පැමිණෙන දිස්ත්‍රික් නායකයන්ටම ලබාදෙන ලෙසට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනා යෝජනා කළහ.

දිස්ත්‍රික් නායකයන්ට පමණක් නොව පක්‍ෂයේ මහ ලේකම්වරයා වුවද ආසනයකට යනවා නම් එම ආසනයේ අදාළ ප්‍රධාන සංවිධායකවරයා දැනුවත් කර යෑම අනිවාර්යය බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon