මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව ඔක්: 10දා යළි ආරම්භ කිරීමට නියෝග

  👤  3554 readers have read this article !
By mawbima 2018-07-18

කේ.එස්. උදයකුමාර්

ඉකුත් රජය සමයේ ඇමැතිවරයකු ලෙස සේවය කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවෙසක් මිලදී ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් මස 10 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (17දා) නියෝග කළේය.

මෙම නඩුව මුලින්ම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගන්නා ලදී. එහෙත් ගිහාන් කුලතුංග විනිසුරුවරයා පැමිණිල්ලට පක්ෂග්‍රාහී ලෙස නඩු විභාගය සිදුකරන බවට චෝදනා කරමින් විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ගොනු කළ පෙත්සමක් පිළිගත් අභියාචනාධිකරණය එම නඩුව ගිහාන් විනිසුරුවරයා නොමැති විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉකුත්දා නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුවේ ඉදිරි විභාගය විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉකුත්දා නියෝග කර තිබිණි.

ඒ අනුව අදාළ නඩුව ඊයේ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය විය. එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා සාක්ෂිකරුවන් වෙත සිතාසිද නිකුත් කළේය.

පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ, කිංසි පාරේ නිවෙසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon