කවුරුන් කැමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා

  👤  3987 readers have read this article !
By mawbima 2018-07-18

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයගේ ලැයිස්තුව ගෙනත් බැලුවාම කනගාටුයි කියන්න, ඒකෙ මුලින්ම ඉන්නේ කාන්තාවක්. අපි භාර ගන්නකොට මේ රට නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තිබුණා. මේවට ඇතැම් නිලධාරීන්ද සම්බන්ධයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ කාලයේ පාතාලය ක්‍රියාත්මක වුණා. කවුරු කැමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසන්නීය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති චෙක්පත් බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.
මුදලට යටවෙලා තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහාට අරගෙන යනවා නම් මහ ලොකු බෞද්ධකමක් ගැන කතා කළාට වැඩක් නෑ. ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා. පාතාලය මෙහෙයවන කල්ලි කිහිපයක් අදත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉඩම් කොල්ලකන පාතාලයක් හොර ඔප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ලකමින් ඉන්නවා. හික්කඩුව වැනි ප්‍රදේශවල හෝටල් පාතාලයකුත් ක්‍රියාත්මක වෙනවා. වෙන කෙනකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. තවත් ප්‍රදේශවල වාහන කොල්ලකන පාතාලයක් ක්‍රියාත්මක වෙනවා. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතුයි.

බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. දැන් මත්කුඩු ජාවාරම් සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා.

ඒ වගේම ඇතැම් බන්ධනාගාර නිලධාරීනුත් සම්බන්ධයි. ඇතැම් පොලිස් නිලධාරීනුත් සම්බන්ධයි. අපි හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කරන්නේ හරි දේ. වැලිකඩ බන්ධනාගාරයෙන් තමයි මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ කියලා පුවත්පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. අපි හැම අභියෝගයකටම මුහුණදීලා මේ රටේ පාතාලය, මත් කුඩු ජාවාරම මර්දනය කරන්න කටයුතු කරනවා.

අපි ආණ්ඩුවක් ලෙස ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැප වෙලා ඉන්නවා. ඒත් තවමත් සමහර නිලධාරීන්ට බැරිවෙලා තියෙනවා රාජකාරි කරන අතරේ දේශපාලනය කරන එක නවත්වන්න. රාජ්‍ය සේවය කියන්නේ යූ.එන්.පී.වත් එන්.එල්.එෆ්.පී.වත් නෙවෙයි. රජයේ සේවකයන් රාජ්‍ය සේවය සඳහා කැපවෙලා ඉන්න ඕන. එහෙම නැතිව පක්‍ෂයක්, පාටක් ඔළුවේ තියාගෙන වැරැදි ලෙස ක්‍රියා කරනවා නම්, ලැබිය යුතු කෙනාට සහන ලැබෙන්නේ නැත්නම් ඒ රාජ්‍ය සේවකයන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපිට සහන ලබාදීමේදී පක්‍ෂ, පාට භේද නැහැ. අපිට විතරක් ඡන්දය දෙන්න කියලා අපි කියන්නෙත් නැහැ. අපි ඡන්දය බලාගෙන වැඩ කරන්නෙත් නැහැ. ජන්ද කාලෙට ඔබ තීරණය කරන්න වැඩි වැඩ කොටසක් කාගෙන්ද කෙරිලා තියෙන්නේ කියලා. එහෙම නැතිව ගංවතුර කාලෙට දෙන බත් පැකට් එකටයි දෙන බඩු මල්ලටයි යටත් වෙන්න එපා.

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon