අසුපිනි ඇල්ලෙන් ලිස්සා වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගනී

  👤  3919 readers have read this article !
By mawbima 2018-07-18

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

දින හතරකට කලින් අසුපිනි ඇල්ලෙන් ලිස්සා වැටී ඇල්ල පාමුල අතුරුදන් වූ විශ්වවිද්‍යාල තරුණයාගේ මළ සිරුර ඇල්ලේ පහත ජලය රැඳෙන වළක උඩට මතු වී තිබී ඊයේ (17දා) දහවල් සොයා ගත් බව එම වසම භාර උඩුවැල්ල ග්‍රාම සේවා නිලධාරි එච්.ඩබ්ලිව්. අසේල කෝලිත ආරියරත්න මහතා පැවැසීය.

අසේල මහතා පැවැසුවේ තරුණයා ලිස්සා වැටීමෙන් පසුව ඉකුත් 15 දින තම ග්‍රාම සේවා වසමේ පදිංචි 56 හැවිරිදි අනුර කුමාරසිරි යන අය කඹයක් යොදා ගනිමින් තරුණයා ලිස්සා වැටුණේ යැයි සැක කරන අසුපිනි ඇල්ල පාමුල ඇති ගැඹුරු වළට බැස්ස බවත් එහි ජලයේ ගැස්ම වැඩි නිසා ඔහු නැවත උඩට පැමිණි බවයි.

කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායමක්ද පැමිණ දින දෙකක් තරුණයා සොයා ගැනීමට උත්සාහ කර ඇති අතර අසුපිනි ඇල්ලේ ජලය වැඩි නිසාත් ජලයේ පවතින ගැස්ම වැඩි නිසාත් තරුණයා අතුරුදන් වූවායි සැක කරන වළ වෙත බැසීමට නොහැකි බව පවසා ඇත.

පසුගිය 14 වැනි දින පස්වරුවේ ඇල්ලෙන් පහළට ලිස්සා ගොස් මෙලෙස අතුරුදන් වී ඇත්තේ අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට නමැති කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි.

අසුපිනි ඇල්ලේ අවදානම ගැන නොසිතා ඇල්ල පහතට කඩා හැලෙන ස්ථානයේ අසල ගල් තලාවක් මතට නැඟ එහි සිට අතුරුදන් වූ ධම්මික කුරුවිට අසුපිනි ඇල්ලට පිටුපාමින් යාළුවකුට සිය ජංගම දුරකථනය ලබාදී පවසා ඇත්තේ තමන්ගේ ඡායාරූපයක් අසුපිනි ඇල්ලේ පහත සුන්දරත්වය පෙනෙන අයුරින් තමාද වැටෙන ලෙස ලබා ගන්නා ලෙසයි.

නමුත් ක්ෂණයකින් ඔහුගේ එක් පාදයක් ලිස්සා ගොස් ඇති අතර ඒ සමඟම අනෙක් පාදයද ලිස්සා ගොස් තත්පර ගණනකදී මිතුරන් බලා සිටියදීම උසින් මීටර් සියයක් පමණ වන අසුපිනි ඇල්ලෙන් පහතට ලිස්සා වැටී මෙසේ අතුරුදන් විය.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17දා) අසුපිනි ඇල්ල ප්‍රදේශයේම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවද පොලිසිය හා ග්‍රාම නිලධාරිවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon