ඇලෝසියස් සහ පලිසේනට ඇප ලබාදීමේ අභියාචනාධිකරණ තීන්දුව ඔක්තෝබරයේ

  👤  3003 readers have read this article !
By mawbima 2018-07-20

කමල් මහේන්ද්‍ර වීරරත්න

මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා රුපියල් කෝටි 1100ක පමණ අති විශාල රාජ්‍ය මුදල් ප්‍රමාණයක් වංචනිකව උපයාගන්නා ලදැයි වූ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයට පත්කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා ඇප මත මුදාහැරිය හැකිද යන්න පිළිබඳ තීන්දුව ඔක්තෝබර් මස 11 වැනිදා නිකුත් කරන බැව් පෙරේදා (18දා) අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සුරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල එසේ ප්‍රකාශ කළේ ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් ප්‍රතිශෝධන පෙත්සම් දෙකේ විභාගය අවසන් කරමිනි.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජේ‍යෂ්ඨ නීතිඥ නවීන් මාරපන විත්තිකාර පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් ඊයේ අවසන්වරටත් විනිශ්චය මණ්ඩලය හමුවේ කරුණු දැක්වූ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූවාය.

2015 පෙබරවාරි මාසයත් 2016 මාර්තු මාසයත් අතර කාලය තුළ එවකට හිටපු මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන්ගේ සහයෝගය හා උදවු උපකාර ඇතිව ඔහුගේ බෑනා වූ පළමුවැනි විත්තිකාර පෙත්සම්කරු වූ අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ සමාගම් ප්‍රධාන විධායක නිලධාරියා වන කසුන් පලිසේන එක්වී මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු වාසි ලබා ගනිමින් හා රහස්‍ය තොරතුරු පිටකර ගැනීම මඟින් මේ තරම් වූ අති විශාල මුදල් ප්‍රමාණයක් අයුතු හා වංචනික ලෙස උපයා ගෙන ඇතැයි වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ පොලිස් නිලධාරීන් ඔවුන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

ඉදිරිපත් කොට ඇති චෝදනාවන්හි බරපතළ ස්වභාවය අනුවත්, සාක්ෂිකරුවන් හට බලපෑම් හා තර්ජන සිදුකළ බවට ඉදිරිපත්ව ඇති සෘජු පැමිණිලි අනුවත් මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දිගින් දිගටම ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමට නියෝග කරනු ලැබීය.

ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවට ගියද එහිදීද එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම මත ඔවුන් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් දෙක ගොනුකර ඇත.
ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ එකී පෙත්සම් මඟින් විත්තිකරුවන් විසින් කර තිබූ ඇප ඉල්ලීමට විරුද්ධත්වය පළ කරමින් දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලද අතර එකී කරුණු ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන හා නවීන් මාරපන යන ජේ‍යෂ්ඨ නීතිඥවරුන් කරුණු දැක්වූහ.

කරුණු දැක්වීම් අවසානයේ පෙත්සම් විභාගය නිමා කළ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල උභය පාර්ශ්වයෙහිම එකඟත්වය මත වග උත්තරකාර පාර්ශ්වයේ ලිඛිත දේශන මේ මස 23 වැනි දිනත් ඊට එරෙහි වන පෙත්සම් පාර්ශ්වයේ ලිඛිත දේශන මේ මස 30 වැනි දිනත් වග උත්තර පාර්ශ්වයේ අවසන් ලිඛිත දේශන අගෝස්තු මස 23 දින හා පෙත්සම් පාර්ශ්වයේ අවසන් ලිඛිත දේශන අගෝස්තු මස 27 වැනි දිනත් ඉදිරිපත් කිරීමට අවසර ලබාදුනි.

ඉදිරිපත් වූ උභය පාර්ශ්වයේම සැලකිරීම් පරිශීලනය කිරීමෙන් අනතුරුව සිය තීන්දුව ඔක්තෝබර් මස 11 වැනිදා නිකුත් කරන බවද විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon