අසරණ අම්මා කෙනෙකු දරු දෙදෙනාට උගන්වන්න පිහිටක් අයැදියි

  👤  3095 readers have read this article !
By mawbima 2018-07-20

හිරියාල - කේ.පී. සුනිල්

කොස් ගසකින් වැටී සුෂුම්නාවට හානි සිදුවී තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටින, තුවාලයක් හේතුවෙන් දකුණු පාදය දණහිසට පහළින් කපා ඉවත් කිරීම නිසා දැඩි දුෂ්කරතාවට පත්ව සිටින දෙදරු මවක් සිය දරු දෙදෙනා සමඟ ජීවිතය ගැටගසා ගැනීම සඳහා උපකාර කරන ලෙස ආයාචනා කරයි.

දෛනික කුලී වැඩවල යෙදෙමින් දරු දෙදෙනා හා තමා රැකබලා ගත් සැමියාද පසුගිය දෙසැම්බර් මාසයේදී වකුගඩු රෝගය හේතුවෙන් අකාලයේ මියගිය බැවින් තමා හා දරු දෙදෙනා අද එදිනෙදා මූලික අවශ්‍යතා හෝ ඉටු කර ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණව සිටින බව ඇය කියයි.

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සියගම, පොල්ගහන්ගොඩ පදිංචිව සිටින ඇය නමින් එස්.එම්. සුජාතා මැණිකේය.

අප හා කතා කළ ඇය සිය ජීවිත ඛේදවාචකය මෙසේ ඉදිරිපත් කළාය.

වයස අවුරුදු 18දී ගේ ළඟ කොස් ගහෙන් වැටිලා මගේ සුෂුම්නාවට හානි වුණා. මගේ කකුල් දෙකත් පණ නැති වුණා. කුරුණෑගල ඉස්පිරිතාලේ මාස ගාණක් ප්‍රතිකාර කළා.

නමුත් සුව වුණේ නෑ. ‍ෙදාස්තර මහත්වරු දිගටම ප්‍රතිකාර කරන්න එන්න කිව්වත් යන්න බැරි වුණා. මගේ තාත්තත් පොළඟෙක් කාලා ඒ කාලෙම නැති වුණා. ඉතින් මම කිහිලිකරුවලින් යන්න පුරුදු වුණා. එහෙම ඉන්න අතරේ මම 2007දී විවාහ වුණා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාගේ වයස අවුරුදු 11යි. එයා පන්සියගම මහා විද්‍යාලයේ 6 ශේ‍ර්ණියේ ඉගෙන ගන්නවා.

දෙවැනි පුතාට වයස අවුරුදු 9යි. එයා නිකවැහැර ප්‍රාථමික පාසලේ 4 ශේ‍ර්ණියේ ඉගෙන ගන්නවා. මහත්තයා එච්.එම්. ගාමිණී හේරත්. එයා දවසේ කුලී වැඩ කරලා අපි තුන්දෙනා ජීවත් කළා.

ඒ අතර සුජාතා මහත්මිය තවත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නාය. එනම් ඇයගේ දකුණු පාදය ගිනි අඟුරුවලට දැඩි ලෙස පිලිස්සී තුවාල සිදුවීමයි. ඇයගේ පාදවලට ස්පර්ශය නොදැනීම නිසා මේ අනතුරට ඇය ලක්වී ඇත. ඇය තවදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

මගේ තුවාලය උඩින් හොඳ වෙලා වගේ තිබුණා. ඒත් අපි දන්නෙම නැතිව තුවාලය ඔඩු දුවලා අන්තිමට ඇටකටුවලට තුවාලය ගිහින් කියලා ‍ෙදාස්තර මහත්තුරු කිව්වා.

මට වේදනාව දැනෙන්නේ නැති නිසා ඒක දැනිලා නෑ. අවසානයේ කිව්ව මගේ ජීවිතය බේර ගන්න නම් දණහිසට පහළින් කකුල කපන්න වෙනවා කියලා. ඉතින් මම කැමැති වුණා.

ඒ අනුව 2010 වසරේදී ඇයගේ දකුණු පාදයේ දණහිසට පහළ කොටස කපා ඉවත් කරන ලදී. නමුත් ඉන් නොසැලුණු ඇය තවදුරටත් ආත්ම ධෛර්යය සිඳ නොගෙන දරු දෙදෙනා වෙනුවෙන් තම දුක් වේදනා අමතක කර ඔවුන්ගේ එදිනෙදා කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නට වෙහෙස වූවාය.

නමුත් අවාසනාව නැවතත් ඇය සොයා පැමිණියේ එය ඇයගේ ජීවිත උරුමයක් බවට පත්ව තිබූ නිසා විය හැකිය. 2017.12.02 ඔවුන්ගේ එකම පිහිටට සිටි සැමියා වකුගඩු රෝගය හේතුවෙන් සදහටම ඔවුන් හැර දමා යන්නේ ඇය හා පුතුන් දෙදෙනා තවත් අසරණ කරමිනි.

ඇය ඉන්පසු තත්ත්වය මෙසේ පැහැදිලි කළාය.

මහත්තයාට වකුගඩු රෝගය හැදුණා. එයා බේර ගන්න බැරි වුණා. ඉතින් අපට තිබුණු අන්තිම රැකවරණයත් නැති වුණා. අද මම දරුවෝ දෙන්න ජීවත් කරන්නේ ආබාධිතයන්ට රජයෙන් මාසිකව දෙන රුපියල් 3,000න් හා සමෘද්ධි ආධාරයෙන්. ඒ වගේම මට ගමේ අයත් හැකි විදියට උදවු කරනවා.

මගේ පවුලේ අයත් ඉන්නේ උදවු කරන්න තරම් තත්ත්වයක නොවෙයි. ලොකු පුතා අමතර පන්ති දෙකකට යනවා.

ඒ සර් පන්ති දෙකටම මුදල් ගන්නේ නෑ. චූටි පුතා ගෙදර ඉඳලා කිලෝමීටර් 5ක් දුරින් තියෙන ඉස්කෝලෙකට යන්නේ. එයා යන බස් එකේ මල්ලිත් පුතාගෙන් බස් එකට සල්ලි ගන්නේ නෑ. ඒ උපකාර නැත්නම් අපිට මොනව වෙයිද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ.

සැබැවින්ම ඇය පටාචාරාවටත් වඩා සිය දහස් ගුණයකින් අසරණ තත්ත්වයට පත්ව ඇති බව එහි යන කිසිවකුට වුවද වැටහී යනු නොඅනුමානය. ඇයගේ සුන්දර දරු දෙදෙනාට මේ ජීවිතයෙන් ගොඩ යා හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි.

ඒ සඳහා කටයුතු කිරීම මෙන්ම ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම පවා අද විශාල අභියෝගයකි. ඇත්තෙන්ම කුඩා අහිංසක දරු දෙදෙනකු සමඟ ආබාධිත ඇය මේ රටේ යහපත් මිනිසුන්ගේ සහයෝගයකින් තොරව කෙසේ නම් ඒ අභියෝගයට මුහුණ දෙන්නද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon