ලෝක උරුමයත් ගාල්ල ක්‍රීඩාංගණයත් යන දෙකම රැකගත යුතුයි - අර්ජුන රණතුංග

  👤  2999 readers have read this article !
By mawbima 2018-07-20

ලෝක උරුමයද ආරක්ෂා කරගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ක්‍රිකට් පරිපාලනයේ සහ පසුගිය ආණ්ඩුවේ දුර්වලතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් අර්බුදයට හේතු වී ඇති බවද ඔහු කියා සිටී. ඊයේ (19දා) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ අනවසර ඉදිකිරීමකට "මහින්ද රාජපක්ෂ" යන නම යෙදීමට යෑමෙන් මෙම අර්බුදය ඇති වූ බවයි.

"ගාලු නගරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන බව අපි හැමෝම දන්නවා. එය අපට අහිමි කර ගැනීමට බැහැ. නමුත් අනෙක් පැත්තෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් අපට අහිමි කරගන්න බැහැ. ඒ නිසා ලෝක උරුමයත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් යන දෙකම රැක ගැනීමේ වැඩපිළිවෙළක් අපට අවශ්‍ය වෙනවා. නමුත් මේ වැඩ පිළිවෙළ සැකසීමට මැදිහත් වී එය සිදු කළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් පාලක මණඩලය බව මම කියනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැති වෙන්න දෙන්න අපට බැහැ. මම නම් කියන්නේ ප්‍රශ්නයට හේතුව අනවසර ඉදිකිරීමක් නම් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පත්ව එම ගොඩනැගිල්ල ඉවත් කළොත් ගාල්ල ක්‍රීඩාංගණය දිගටම තියාගන්න පුළුවන් වෙයි" යනුවෙන් ද රණතුංග මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon