මේ රට හදන්න නම් අපට බලය ඕනෑ

  👤  3078 readers have read this article !
By mawbima 2018-07-20

දැන් අපේ රටට මොකද වෙලා තියෙන්නේ. ඒ ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මොකද වෙන්නේ කියලා අපිට තේරුණාට මොකද මේ වුණේ කියලා හූල්ල හූල්ල හිටියට හරියන්නේ නැහැ. මේකට මොකද කරන්න ඕන. අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ මේ යන රටාව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි තීරණය කළා මේකට වැඩපිළිවෙළක් හදන්න. වැඩපිළිවෙළක් තිබුණට වැඩක් නැහැ. ඒක ක්‍රියාවට නඟන්න පුළුවන් බලවේගයක් අපි හදන්න ඕන. ඒවගේම ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නඟන්න නම් බලය ගන්නත් ඕන. ඒ අරමුණෙන් තමයි අපි මේ ක්‍රියාමාර්ගය දැන් පටන් අරන් තියෙන්නේ. අපි රට හදන්න ඕන. අපි රට රකින්න ඕන. ඒ සඳහා ජනතාවගේ පාලනයක් අපි හදන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජනහමු "දසදහස" ආරම්භ කරමින් එහි ප්‍රථම සම්මන්ත්‍රණය අමතා පසුගියදා මාතර උෟරුබොක්ක සණස ශාලාවේදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

මම දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියලා තිබුණා 2050 රට හදනවා කියලා. හැදුවේ නැත්තන් රට හැදුවද නැද්ද කියලා අහන්න රනිල් මහත්තයා හෝ වෙන කවුද 2050 වනවිට ඉතුරුවෙලා ඉන්නේ. මේ පක්ෂ දෙක මේ විදියට රට පාලනය කළොත් 5000 දීත් රට හදන්න බැහැ. මේ රට තියෙනවටත් වඩා විනාශ කරන්න විතරයි මේ පක්ෂ දෙකටම පුළුවන්. දැන් කියනවා නම් 2050දී රට හදනවා කියලා ඒ කියන්නේ පසුගිය අවුරුදු 70ම අසාර්ථකයි කියලා.

ජවිපෙට පමණක් රට හදන්න බැහැ. ඒකට අපි ප්‍රධාන වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒ සඳහා තමයි අපි දැන් මේ පුරලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන කණ්ඩායම් ගෙනල්ලා මේ කමිටු පත්කළා. අධ්‍යාපන ක්‍රමය අලුතෙන් හදන්න ඕන. ඒකටත් අපි ප්‍රතිපත්ති හදන්න කමිටුවක් පත්කළා.

ඉස්සර රාත්‍රි 10ට බස් එකක් තියෙනවා හැම ගමකටම යන්න. ඒවා අද නැහැ. ඒ නිසා විධිමත් ප්‍රවාහන ප්‍රතිපත්තියකුත් හදන්න ඕන.

ලෝකයේ සියදිවි හානි කරගන්නා රටවල් අතර අපේ රට 4 වැනි තැනට ඇවිල්ලා. අද ලංකාවේ ප්‍රාදේශීය ජනතාව මුහුණදීලා තියෙන ප්‍රධානම ප්‍රශ්නය ග්‍රාමීය ණය ගැති භාවයයි. අපේ ජනතාව ණය උගුලෙන් ගලව ගන්නේ කොහොමද?

ඒ විතරක්ද ලංකාවේ අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් හතරෙන් එකකට කුමන හෝ බෝවන රෝගයක් තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවේ තියෙනවා. අපේ රටේ මේ රෝගවලින් ජනතාව ගලව ගන්න සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ඕන. අද ලංකාවේ කුඩු ව්‍යාපාරය යන්නේ ප්‍රධාන දේශපාලනඥයන්ගේ රැකවරණය මතයි.
ගිය අවුරුද්දේ වාහන අනතුරු තිස්දහසක් සිදුවෙලා තියෙනවා. දවසට වාහන අනතුරුවලින් 8 දෙනකු මැරෙනවා. හදවත නතර වෙලා මැරෙනවා 14 දෙනකු. අපි දැන් ජීවත්වෙන්නේ මරණය අතින් අරන්. ඕනෑම අනතුරකට මුහුණදෙන්න සූදානම්ව තමයි අද අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. ලංකාවේ නිවාස ලක්ෂ හතරක වැසිකිළි නැහැ.

අපේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට වරාය හැදුව නම් හදන්න තිබුණේ භාණ්ඩ හුවමාරු කරන වරායක් ලෙස නෙවෙයි. සේවා සැපයීමේ වරායක් ලෙසයි. ඒකට වැඩි මුදලක් යන්නේ නැහැ. හැබැයි මහින්ද මහත්තයා හැදුවේ භාණ්ඩ හුවමාරු කරන වරායක්. සේවා සපයන වරාය ඕන වුණේ අපිට. භාණ්ඩ හුවමාරු වරායක් ඕන වුණේ චීනයට.මහින්ද මහත්තයට කෝටි 110ක් දීලා තියෙනවා

ලෝකයේ ඒකාධිපති නායකයන් රටක් හදලා නැහැ. මේ රට ඒකාධිපතියකුට හදන්න බැහැ.

ගෝඨාභය මහත්තයට ඕන රට විනාශයට ඇදගෙන යන්න. ඒ නිසා අපි අලුත් පාලනයක් හදමු. ඔය මාධ්‍යයෙන් පෙන්වන දැවැන්තයන්ට බයවෙන්න එපා. ඔය මාධ්‍ය ගැනත් අපි දන්නවා. මාධ්‍ය හැසිරීම පිළිබඳව බරපතළ විවේචන තියෙනවා. ජනතාවගේ මොළ හෝදන්න ඔවුන් කටයුතු කරනවා. ඉස්සරහට එහෙම වැඩ කරන ඔය මාධ්‍ය කවුද කියලා ජනතාවට හෙළිදරව් කරන්නත් සූදානම්. ප්‍රගතිශීලී මාධ්‍ය ආයතන ඉදිරියේදී අපි ජනතාව වෙනුවෙන් කරන කාර්යයට සහයෝගය ලබාදෙයි කියලා හිතනවා.

උෟරුබොක්ක - අතාවුද පතිරණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon