ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ශ්‍රී ලනිපය නැතිව බැහැ

  👤  3161 readers have read this article !
By mawbima 2018-07-20

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් සියයට 15 ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බව ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩපිළිවෙළ සමඟ මේ සීයට 15ක ඡන්ද ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. අඩුවෙන්නේ නෑ. ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියයට 15 නැතිව ජනාධිපති පත්කර ගන්න බැරි වෙනවා. ජනාධිපතිවරණයකදී සියයට 50.1ක් සඳහා තීරණාත්මක වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 15ක ඡන්ද ප්‍රතිශතය බව අමතක නොකළ යුතුයි.

ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 15ක ඡන්දය නැතිව කාටවත් ආණ්ඩු පිහිටුවන්න බෑ. පොහොට්ටුව වටා ඉන්න පිරිස එකට ගොනු වෙලා ඉන්නේ වෙන කවුරුත් නිසා නොවෙයි මහින්ද රාජපක්ෂ මහතා නිසාමයි. මහින්ද රාජජපක්ෂ මහතා සදහටම දේශපාලනය කරන්නේ නෑ. එතුමාට යම් දවසක දේශපාලනයෙන් විශ්‍රාම ගන්න සිදු වෙනවා. එදාට පොහොට්ටුවට මොකක්ද වෙන්නේ. එදාට පොහොට්ටුවට නායකයෙක් නෑ.

පොහොට්ටුව පිපෙන්න කලින් දැන් පොහොට්ටුව පිපිරෙන්න පටන් අරන් තියෙනවා. තවම මේගොල්ලන්ට ජනාධිපති අපේක්ෂකයා තෝරාගන්න බැරිව තිබෙනවා. කුමාර වෙල්ගම හිටපු ඇමැතිතුමා කියන කතා ඇහුවොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එතුමාගේ සහාය නැති බව පැහැදිලි වෙනවා. මේ වගේ් විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ල කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා කියන කෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහතාට කරන්න බැරිවූ දෙයක් එයා වටේ ඉන්න කෙනකුට කරන්න පුළුවන්ද කියලා ජනතාවට අලුතෙන් පැහැදිලි කළ යුතු නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න අපි දිවිහිමියෙන් කටයුතු කළා. ඒ සඳහා මම ලංකාව පුරාම ගියා. මම ඒක කළේ එතුමා අපේ පක්ෂයේ නිල අපේක්ෂයා නිසායි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට ජයගන්න බැරිවුණා. එහෙම නම් වෙන රාජපක්ෂ කෙනකු ජයග්‍රහණය කරන්නේ කොහොමද. දැන් පොහොට්ටුව ළඟට ගිහිල්ලා තියෙන අයට කවදාහරි යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආපසු එන්න සිදු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon