දේශද්‍රෝහී අණපනත් සම්මත කරන පාර්ලිමේන්තුවට ජනතාව ගිනි තියයි

  👤  3087 readers have read this article !
By mawbima 2018-07-20

යහපාලන ආණ්ඩුව රණවිරු දඩයමේ තෙවැනි දඩයමට අද (20දා) දිනයේ සූදානම් වන බවත් පරණ අණ පනත්වලට සංශෝධන රැගෙන විත් ඔවුන් අද දිනයේ සැරසෙන්නේ රට රැකදී ජනතාවට ජීවිතය දිනා දුන් රණවිරුවන්ගෙන් පළිගැනීමට බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

එවැනි දේශද්‍රෝහී අණ පනත් සම්මත කරගන්නා පාර්ලිමේන්තුවකට ගිනි තැබිය යුතු යැයි ජනතාව කිව්වහොත් එය නිවැරැදි කරුණක් යැයිද ඔහු පැවැසුවේය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (19දා) පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඔහු මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව කරන ප්‍රධානම කර්මාන්තය තමයි රණවිරුවන් දඩයම් කිරීමේ කර්මාන්තය. ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග්‍රහය දැකවූ එම 30(1) යෝජනාවට එදා විදේශ ඇමැති මංගල සමරවීර අස්සන් තැබුවා. ඒ 30(1) යෝජනා ප්‍රකාරව තමයි අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත ආවේ. එදා ඒක එනකොට කිව්වා රෝහණ විජේවීර අතුරුදන් කිරීම පවා මේකෙන් හොයලා බලන්න පුළුවන් කියලා. 88-89 අතුරුදන් කිරීම්වලට අදාළ චූදිතයන්ට දඬුවම් කරන්න පුළුවන් සොයා බලන්න පුළුවන් කියලයි එදා කිව්වෙ. මේ විදියට ජවිපෙත් කරඅඹල මේක සම්මත කළා. අද ජවිපෙට පුළුවන් ඒ නායකයාගේ අතුරුදන් වීම සොයා බලන්න යැයි මේ කාර්යාලයට පැමිණිලි කරන්න.

ඒ කාර්යාලය ආරම්භ කළා. කොමසාරිස්වරු පත්කළා. අද නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කොමසාරිස්වරු කිලිනොච්චි, මන්නාරම්, මුලතිව්, වවුනියාව, යාපනේ, මඩකළපු, ත්‍රිකුණාමල, අම්පාර දිස්ත්‍රික්කවලට යනවා, දරුස්මාන් කමිටුවේ හිටපු යෂ්මින් සුඛා කියන විදියට රණවිරුවො පනස් දෙනාට චෝදනා පත්‍ර හදන්න. මේ විදියටයි අතුරුදන් වූවන්ගේ කාර්යාලය කියන චෝදනා පැක්ටරිය අද ක්‍රියාත්මක වෙන්නේ. මීළඟට ආවා බලහත්කාරයෙන් වන අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.

ලංකාව මේකට අස්සන් කළා පමණක් නෙවෙයි, රටේ නීතියටත් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ඇතුළු කරනවා. ජාත්‍යන්තර නීතියකින් අතුරුදන් කිරීම අපරාධයක් බවට ලංකා නීතිය තුළට ගෙනත් තියෙනවා.මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හරහා ආකාර 2කින් රණවිරුවන්ට දඬුවම් කිරීමට දැන් ලැහැස්ති වෙලා ඉන්නවා. එක පැත්තකින් මෙහෙ අධිකරණයක් පිහිටුවලා අණ දීමේ වගකීම මත චෝදනා එල්ල කරලා, විභාග කරලා දඬුවම් දෙන්න යනවා. දෙවැනි විදිය තමයි මේ ප්‍රඥප්තිය අස්සන් කොට ඇති සම්මුති රාජ්‍යයන්ට අපේ රණවිරුවන් පිටුවහල් කිරීමේ හැකියාව මේ පනතින් ලැබෙනවා.

මේ යහපාලන ආණ්ඩුව සැරසෙන්නේ ජනාධිපතිවරණයකදී දෙමළ ඩයස්පෝරාවටයි බටහිර හා ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ටයි දීපු පොරොන්දුව ඉෂ්ට කරන්නයි.

මේ රටේ මේ කරන අපරාධවලට මේ පාර්ලිමේන්තුවට යම් දවසක අනාගතේ ජනතාව ගිනි තිබ්බොත් පුදුමයක් වෙන්න දෙයක් නෑ. මෙහෙම පාර්ලිමේන්තු ඕන නෑ. මෙහෙම පාර්ලිමේන්තුවකට ගිනි තිබ්බොත් පුදුමයක් නෙවෙයි.

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225 දෙනාගෙන් අපි ඉල්ලනවා මේ මහා දුෂ්ට පනතට අත ඔසවන්න එපා, අපරාධයේ විත්තිකරුවන් වෙන්න එපා කියලා. ඒ වගේම ජනතා වෛරයට පාත්‍ර වන අය බවට පත්වෙන්න එපා. මේ පනතට අත ඔසවන අයට ජනතාව වැහි නැති හෙණ ඉල්ලාවි.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon