අකුරණ හිටපු ප්‍රා.ලේකම් වසර 5ක් හිරේට

  👤  2971 readers have read this article !
By mawbima 2018-07-20

කේ. එස්. උදයකුමාර්

අල්ලස, වර්තමානයේ සමාජය තුළ පිළිලයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින අතර, අල්ලස් නඩුවලට දඬුවම් දීමේදී, එම නඩුවල විත්තිකරුවන් දෙස පමණක් නොව සමාජය දෙසද බලා තීන්දු ලබාදීමට සිදුවන බව, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (19දා) ප්‍රකාශ කළේය.

රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වැරැදිකරු කෙරුණු අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් නියාස් මොහොමඩ් හනීෆා නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 05ක සිර දඬුවමක් නියම කරමින් විනිසුරු කුලතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 50,000ක මුදල දණ්ඩනයක් වශයෙන් විත්තිකරුගෙන් අය කර ගන්නා ලෙසද නියෝග කළේය.

2012 වසරේ මැයි මස 16 වැනිදා අකුරණ ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුට කළුගල් කඩා ඉවත් කිරීමට යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවට වැරැදිකරු කරන බවද විනිසුරුවරයා කීවේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 57 වැනි වියේ පසුවන තම සේවාදායකයා පස්දරු පියකු බව පවසා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එවිට විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ වර්තමානයේ අල්ලස සමාජය තුළ පිළිලයක් වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණය තුළ දඬුවම් නියම කිරීමේදී විත්තිකරුවන් ඉදිරිපත් කරන කරුණු පමණක් නොව සමාජය දෙසද බලා දඬුවම් නියම කිරීමට අධිකරණයට සිදුව ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම නියම කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon