මරණ දඬුවම අදක්ෂ දේශපාලකයන්ගේ තෝරාගැනීමක්

  👤  2426 readers have read this article !
By mawbima 2018-07-22

අජිත් පී. පෙරේරා කියන්නෙත් එක්සත් ජාතික පක්‍ෂය කෙරෙහි කලකිරීමෙන් සිටින මන්ත්‍රිවරයෙක්ද?


නෑ. කලකිරීමක් නෑ. නමුත් සටනේ ඉන්නේ. කලකිරුණාම මිනිස්සු අතෑරලා දාලා යනවනේ. මම තියෙන අඩුපාඩුකම් තේරුම් අරගෙන ඒ අඩුපාඩුකම් නිවැරැදි කරගෙන පක්‍ෂය නැවත ජයග්‍රාහී මාවතකට අරගෙන, ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළට සටන් කරනවා. වැරැදි පෙන්නලා දෙනවා. කළ යුතු දේ කියනවා. පක්‍ෂ අභ්‍යන්තරයේදීත් මගෙ හඬ අවදි කරනවා.


ඔබ කියන විදියට පක්‍ෂය තුළ බොහෝ විට වැරැදි සිදුවන බව පැහැදිලියි?


පක්ෂයේ අකාර්යෂමතාව ගැන, රාජ්‍යකරණයේ ඇති අඩුපාඩුකම් ගැන, වේගය මදිකම ගැන මගේ දුක්ගැනවිල්ලක් තිබෙනවා. මගේ අරමුණ ඒවා නිවැරැදි කර ගැනීමට පක්‍ෂ අභ්‍යන්තරය තුළ සටන් කිරීමයි.


ඔබේ සටනට ප්‍රතිඵල ලැබී තිබෙනවද?


සමහර කාරණවලදී දැනටමත් ජයග්‍රහණය ලබලා තියෙනවා. සමහර කාරණා වෙනුවෙන් සටන් කරනවා.


ඔබත් ප්‍රබල අමාත්‍ය ධුරයක් දෙනතුරු බලා සිටියා නේද?


අද මම දරන රාජ්‍ය අමාත්‍ය ධුරය ඉතාමත් වටින එකක්. ඇත්තටම සමහර කැබිනට් ඇමැති ධුරවලට වඩා විදුලිබල රාජ්‍ය ඇමැතිකම සමාජය තුළත්, රාජ්‍යකරණයේත් වැදගත් තනතුරක්. මගේ කැබිනට් අමාත්‍යවරයා මට නිදහසේ කටයුතු කරගන්න අවස්ථාව දීලා තියෙන නිසා මට කිසිම අඩුපාඩුවක් දැනෙන්නෙ නෑ මම කවදාවත් වෙනත් තනතුරක් ඉල්ලා නැහැ.
එජාප ප්‍රතිසංවිධාන කටයුතු කෙරෙහි එක් අවස්ථාවක ඔබට තිබුණෙ සුබවාදී හැඟීමක් නොවෙයි නේද?


එක් අවස්ථාවක නෙමේ. තවමත් අපේ ප්‍රතිසංවිධාන සම්පූර්ණ වී නැහැ. සම්පූර්ණ වනතෙක් මම සතුටු වෙන්නේ නැහැ. මම ලේසියෙන් සතුටු වෙන පුද්ගලයෙකුත් නෙමේ. උපරිම අවස්ථාව ලබාගන්න අවශ්‍ය සටනේ ඉන්නවා.


එහෙම නැතිව කොටන් ඇදපු අලි පැත්තක තියලා පෙරහරේ යන්නෙ වෙන අලි කියන න්‍යාය නෙමේද එජාපයේ ක්‍රියාත්මක වෙන්නේ?


මං හිතන්නෙ නෑ. පෙරහරේ යන්නෙත් වැඩ කරපු අය තමයි.


එතකොට ඔබ කලින් කියපු දුක්ගැනවිල්ල කොහෙද තියෙන්නේ?


දුක්ගැනවිල්ල තියෙන්නේ නැවුම් අදහස් තියෙන, දක්ෂ, උගත්, මන්ත්‍රිවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට ගැළපෙන වගකීම් පවරලා නිශ්චිත කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් නොවී තිබූ එකයි. දැන් යම් දුරකට එම දුක් ගැනවිල්ලට ප්‍රතිචාර ලැබී තිබෙනවා. නමුත් එය සම්පූර්ණ වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ අඩුපාඩුව හදාගන්න.


ඔබ විදුලිබල අමාත්‍ය ධුරය දැරුවට බොහෝ අවස්ථාවල අපි දැක්කේ විශේෂ මහාධිකරණය ගැන කතා කරන පුද්ගලයෙක් ලෙස. අධිකරණ 3ක් පිහිටුවන බව කිව්වත් දැනට ස්ථාපිත වී තිබෙන්නේ එක් විශේෂ මහාධිකරණයක්. එයත් තවම ගොඩනැඟිල්ලක් පමණයි?


අපේ පක්‍ෂ ප්‍රතිපත්තියෙම සඳහන් කර තියෙනවා දූෂණවලට එරෙහිව කටයුතු කරන විශේෂ යාන්ත්‍රණයක් ගැන.


ඔබලා ඔය අධිකරණ කතාව කියපු නිසාම නේද අවසානෙට එය ඉටුකරන්න වුණේ?


නෑ. නෑ. එහෙම දෙයක් නෑ. ඒ යාන්ත්‍රණය සකස් කිරීමට අපි කටයුතු කළා. එහි කොටස් කීපයක් තියෙනවා. එකක් පරීක්‍ෂණ යාන්ත්‍රණය, සාමාන්‍ය පොලිසියට ඒ පරීක්‍ෂණ ක්‍රියාවලිය කරන්න නොහැකි නිසා අපි යාන්ත්‍රණ කිහිපයක් හැදුවා. ජ්ඛ්ධ්ච් බරපතළ දූෂණ විමර්ශනය කිරීමේ ජනපති කොමිෂන් සභාව, ඊට අමතරව ඛ්ධ්ච් එකත් ඒ පරීක්‍ෂණ කළා. ඒ පරීක්‍ෂණ ක්‍රියාදාමය සාර්ථක වුණා. ඒ පොලිස් නිලධාරීන්ට මං ස්තුතිවන්ත වෙනවා. පරීක්‍ෂණවලින් 80කට වැඩිය සාර්ථික කරලා අපරාධ ගොනු 120කට වඩා නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා.


20%ක් සාර්ථක නොවුණෙ කුමන බලපෑමක් හරහාද?


එහි බලපෑමක් නොවෙයි තිබුණේ. නඩු ඉක්මන් නොවීම ගැන. ඒක කරන්න අවශ්‍ය යාන්ත්‍රණය මුලින්ම හැදුණා නම් මේ වන විට නඩු ගණනාවක් අහලා ඉවරයි. ඒ ගැන අපේ පක්‍ෂය තුළ දැවැන්ත විවාදයක් තිබුණා. මං අපරාධ විභාග පිළිබඳ විශේෂ පළපුරුද්දක් තිබෙන පුද්ගලයෙක් සතුටින් කියන්න ඕනි. මේ අඩුපාඩුව දැකලා තමයි මේ විශේෂ අධිකරණ පිහිටුවීමට තීරණය කළේ. පසුව පාර්ලිමේන්තුවෙ නෛතික කටයුතු හා දූෂණ විරෝධී ආංශික අධීක්‍ෂණ කාරක සභාව නිර්දේශ කරලා තියෙනවා අධිකරණ 3ක්. කැබිනට් මණ්ඩලය නිර්දේශ කරලා තියෙනවා අධිකරණ 3ක්. මේ පනත අනුව දෙවැනි සහ තුන්වැනි අධිකරණ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුයි. මං විශ්වාස කරනවා ඊළඟ මාස 2, 3 තුළ මේ අධිකරණ දෙකත් පිහිටුවිය හැකියි කියලා.


මෙම අධිකරණ පිහිටුවීම සම්පූර්ණයෙන්ම ඉලක්ක වූයේ රාජපක්‍ෂවරුන්ගේ නඩු කටයුතුවලට කියලා ඔබලාට ප්‍රබල චෝදනාවක් තියෙනවා?


එහෙම දෙයක් නෑ. මේ කරලා තියෙන පරීක්‍ෂණ 120 දිහා බැලුවම ඉන් 100ක විතරම ඉන්නේ රාජපක්‍ෂ නම නැති අය. ඒ නිසා රාජපක්‍ෂලා වුණත් එකයි. සිල්වලා වුණත් එකයි. ප්‍රනාන්දුලා වුණත් එකයි ඒක වෙනසක් නෑ. රටේ නීතිය හැමෝටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ අධිකරණය හදන්නේ සම්පූර්ණ රටේ නීතියට අනුකූලව. හැමෝටම ක්‍රියාත්මක වන අපරාධ නඩු සංග්‍රහය සහ සාක්‍ෂි ආඥා පනත මෙතැනදී අදාළ කරගන්නවා. ඉස්සරත් දිනපතා නඩු ඇහුවා. ජූරි ක්‍රමය අහෝසි වී ගිහින් තිබෙනවා කාලයාගේ ඇවෑමෙන්. අපි දිනපතා නඩු අහන ක්‍රමයක් සැලසීම වැදගත්. එය සාධාරණයි. තීන්දු ගන්නේ ආණ්ඩුව නොවෙයි. නීතිපති සහ අග්‍රවිනිශ්චයකාරතුමා.


විශේෂ අධිකරණය ගැන සහ නඩු විභාග ලැයිස්තු පිළිබඳව අධිකරණ විෂය භාර ඇමැතිවරිය ඇතුළු කිහිප දෙනෙක් රහස් සාකච්ඡාවක් පවැත්වූ බව පසුගිය දිනක මාධ්‍ය තුළ පළ වුණා? එය පැහැදිලි දේශපාලනීකරණයක් නේද ඇමැතිතුමා?


එය සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. ආණ්ඩුවේ දූෂණ විරෝධී අමාත්‍ය කමිටුවක් තිබෙනවා. මාත් එහි සාමාජිකයෙක්. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, තලතා අතුකෝරල මැතිනිය, ස්වාමිනාදන් මැතිතුමා, රාජිත සේනාරත්න මැතිතුමා සහ මම, එහි සාමාජිකයන්, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිපතිතුමා හා පොලිස්පතිතුමා ඊට සහභාගි වෙනවා. එය කිසිසේත්ම රහස් සාකච්ඡාවක් නෙමේ. මෙහි කිසිවිටක ලැයිස්තු ගැන සාකච්ඡාවක් වුණේ නෑ. මෙයින් කරන්නේ අපරාධ යුක්ති පරිපාලනය පිළිබඳ පරිපාලන කටයුතු. යම් පුද්ගලයකු අපරාධයක පැටලවීමේ බලයක් එහි නෑ. මීට එන නඩු මොනවද කියලා තීරණය කරන්නේ අවසානයේ අග්‍රවිනිශ්චයකාරතුමා අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව මත මේ බලය අගවිනිසුරු සතු බවට තීන්දු වුණා.


අග්‍රවිනිශ්චයකාරතුමා එම නඩුව පිළිබඳ සෑහීමකට පත් නොවුණොත්?


එසේ සෑහීමකට පත් නොවන කිසිම නඩුවක් මේ විශේෂ මහාධිකරණයට එන්නෙ නෑ.


එක් අවස්ථාවක ප්‍රබල රාවයක් පැතිරුණා. එම විශේෂ මහාධිකරණයේ දිගහැරෙන ප්‍රථම නඩුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට බව?


මං හිතන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ නඩුවක් ගැන සාකච්ඡා කරලම නෑ. ඔහුට විරුද්ධ නඩුවෙ පරීක්‍ෂණ කටයුතු අවසන් කරලා තියෙන්නෙ එතුමා විසින් අභියාචනාධිකරණයෙන් හා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ලබාගත් තහනම් නියෝග නිසා එම නඩුවේ කටයුතු අඩාල වී තිබෙනවා.


අපිට ඒ පිළිබඳ මැදිහත් වෙන්න පුළුවන්කමක් නෑ. ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් ඒ තහනම් නියෝගය ඉවත් කළාම තමයි ඒ හා සම්බන්ධව ඉදිරියට කටයුතු කරන්න සිදු වෙන්නෙ.


මේ විශේෂ මහාධිකරණය දේශපාලනීකරණය නොවන බවට ඔබට දිය හැකි සහතිකය මොකක්ද?


ඒ අධිකරණ යාන්ත්‍රණයම දේශපාලනික නොවන යාන්ත්‍රණයක්. අධිකරණයට ගොඩනැඟිල්ල හදලා කාර්ය මණ්ඩල ලබලා දෙන එක හැර වෙන කිසිදේකට ආණ්ඩුව සම්බන්ධ වෙන්නෙ නෑ. රටේ තියෙන අපරාධ නඩු විභාග සංග්‍රහය සාක්‍ෂි ආඥා පනත ඉතාම ශක්තිමත් හොඳ නීතියක්. අවුරුදු 100ක් ක්‍රියාත්මක වී තියෙනවා. අල්පමාත්‍රයකවත් මේ නඩු ක්‍රියාදාමයට ආණ්ඩුවට බලපෑම් කරන්න බෑ. නඩු ඉක්මනින් විභාග කරනවා කියලා කිසිම විත්තිකාරවරයකුට කියන්න අයිතියක් නෑ. ඕනෑම නඩුවක් පුළුවන් ඉක්මනින් විභාග විය යුතුයි. අපරාධකරුවකුට කියන්න බෑ මගේ නඩුව ඉක්මනින් ගන්නේ ඇයි කියන්න.


මහා පරිමාණ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුව මෙම මහාධිකරණයේ ප්‍රථමයෙන්ම විභාගයට ගත යුතුයි කියලා අභියෝග කළොත් ඔබලා ඊට සූදානම්ද?


අපේ ආණ්ඩුව යටතේ වැරැදි කරපු පුද්ගලයෝ ඉන්නවා නම් ඒ හා සම්බන්ධව ඉක්මනින්ම විභාග කර දඬුවම් දිය යුතුයි. බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අපරාධ පරීක්‍ෂණ ඉක්මනින් අවසන් කර ඊට චෝදනා ලැබූ පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. මම සතුටු වෙනවා එම නඩුවත් මෙම විශේෂ අධිකරණයේ විභාග වනවා නම්. එහෙම කිරීමේ අවශ්‍යතාවක් අපිට තිබෙනවා. මොකද ඒ හොරකම් කරන පුද්ගලයෝ ආණ්ඩුව වෙනස් වුණාද නැද්ද කියන එක මත නෙමේ කටයුතු කරන්නේ. මේ බැඳුම්කරයට සම්බන්ධ ඇලෝසියස් සහ ඔහුගේ සමාගම රාජපක්‍ෂ ආණ්ඩුව යටතේත් හොරකම් කළා. අපි එදා ඔහුට විරුද්ධව කතා කළා. අපේ ආණ්ඩුව ආවට පස්සෙත් හොරකම් කරලා තියෙනවා. ඔවුන්ට එරෙහිව රටේ නීතියට අනුව නඩු පැවරීම නීතිපතිගේ වගකීම, හැබැයි මෙය පළමුවෙන් ගත යුතුයි කියලා ක්‍රමවේදයක් නෑ. නීතිපති විසින් ප්‍රමුඛතාව ගැන පළමු තීරණය අවසන් තීරණය අග්‍රවිනිශ්චයකාරතුමාත් ගන්නවා. ෆිල්ටර් කරනවා අවස්ථා 2කදී. මා දන්න තරමින් බැඳුම්කර සම්බන්ධ පරීක්‍ෂණ තවම අවසන් කර නෑ. එතකන් අධිකරණය පරක්කු කළ යුතු නෑ. අනෙක් ඒවා විභාගයට ගත යුතුයි. අනතුරුව මේ අධිකරණය තුළම බැඳුම්කර විභාගයත් වෙන් වෙයි.


ඔය කියන ක්‍රියාවලියත් එක්ක ඔබලාගේ ආණ්ඩුව යටතේ බැඳුම්කර වංචාව විභාගයට ගැනීම හිතන්නවත් බැරි වෙයි?


අපේ ආණ්ඩුව ප්‍රශ්නයක් නෑ. නඩුව දැම්මා නම් ඇහුවා. අපි කියන ක්‍රමයට අවුරුදු ගණන් නඩු අදින්න බෑ. මගේ තර්කය ඒකයි. මේ විශේෂ අධිකරණ 3 ස්ථාපිත වූ පසු ප්‍රකට අපරාධ නඩු එම අධිකරණවලට පැමිණෙයි කියලා අපි අපේක්‍ෂා කරනවා. අපිට බලයක් නැති වුණත් වැරැදිකරුද නිවැරැදිකරුද කියලා තීරණය වන්න එම නඩු ඉක්මනින් විභාග විය යුතුයි. ඒවා ප්‍රමාද වීමට ජනතාව කැමැතිත් නෑ. දේශපාලනිකවත් අපිට අවාසියි.


ඔබලාගේ ආණ්ඩුවත් අන්තිමට ජනතාවගේ මනාපයෙන් බලයට ඇවිත් ජනතාවටම කොකා පෙන්වූ ආණ්ඩුවක් වුණා නේද?


එහෙම නෑ. අපි කොච්චර වැඩ කරලා තියෙනවද? චන්ද්‍රිකා මැතිනිය අවුරුදු 11ක් ආණ්ඩු කළා. රාජපක්‍ෂ මහතා අවුරුදු 10ක් කළා. අපේ ආණ්ඩුව අවුරුදු 3යි. අපි අවුරුදු 3ක් තුළ මේ රට වැටී තිබූ ආර්ථික ව්‍යසනයෙන් ගොඩ අරගෙන අනාගතයට යා හැකි වැඩපිළිවෙළ අපි සකස් කරලා තියෙනවා. අපි කිසිසේත්ම ජනතාවට කොකා පෙන්නලා නෑ. මේ ක්‍රියාවලිය තුළ ජනතාවට අමාරුකම් තියෙනවා. ජනතාව අපේක්‍ෂා කරන්නෙ තමන්ට බලපෑමක් නැතිව ආණ්ඩුව දිව්‍යලෝකෙන් හරි මුදල් ගෙන්වා ආණ්ඩුව ගාණේ අවශ්‍ය මුදල් දෙයි කියලා. එවැනි දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ නෑ. ආණ්ඩුවේ තියෙන ගැටලුව තමයි ප්‍රමාදය. ඒ ප්‍රමාදය විස¼දාගෙන මේ වසර අවසන් වන විට ජනතාවට හොඳ ප්‍රතිචාරයක් ලබා දෙන්න කටයුතු කළ හැකියි.


අද රටේ ආන්දෝලනාත්මක මාතෘකාව වී තිබෙන්නේ එල්ලා මැරීම. ඇත්තටම එල්ලා මැරිය යුත්තේ කුඩු ජාවාරම්කරුවන් පමණක්මද?


මගේ පෞද්ගලික අදහස කිසිවකු එල්ලා මැරිය යුතු නැහැ. අපි ජාතියක් විදියට දස දහස් ගණනක් පාරවල්වල වෙඩි තියලා මැරුවා. 71 සිට වරින්වර වසර කිහිපය තුළ, සිංහල, දෙමළ, මුස්ලිම් දසදහස් ගණනක් මැරුණා. අපි ජාතියක් ලෙස ප්‍රමාණයටත් වඩා ලේ හලා තිබෙනවා. ලෝකයේ අපරාධ මර්දනය කිරීම සඳහා මරණීය දඬුවම අනුකූල නොවන බව සෑම රටකම අත්දැකීම්වලින් පෙන්නුම් කරනවා. මරණීය දඬුවම දුන් පමණින් අපරාධ අඩු වෙන්නේ නෑ. මේ විෂය හදාරපු කෙනෙක් හැටියට මම කියනවා මරණීය දණ්ඩනය ඵලදායී නොවන දඬුවමක්.

හැබැයි ජනාධිපතිතුමාට තමයි මේ බලය තිබෙන්නෙ. එතුමා තීරණය කරලා තියෙනවා මේ බලය ක්‍රියාත්මක කරන්න. මං කියනවා එසේ නම් ක්‍රියාත්මක කරන්න ඒ පුද්ගලයන් හඳුනාගෙන. ඒක එතුමගේ වැඩක්. අපේ ආණ්ඩුව යටතේ මිනීමැරුම් වැඩි වෙලා නෑ. ස්ත්‍රී දූෂණ වැඩි වෙලා නෑ. මංකොල්ල හෝ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වෙලා නෑ. හුදෙකලා සිදුවීම් හරහා ඇතිවන ආවේග ඔස්සේ විටින් විට එවැනි ප්‍රවණතා මතු වී තිබෙනවා. සංඛ්‍යාත්මක අපේ ආණ්ඩුව තුළ අපරාධ අඩු වී තිබෙනවා. එම ලේඛන මා සතුව තිබෙනවා.


නමුත් මත්කුඩු ජාවාරම්කරුවන් මෙහෙය වන්නෙ දේශපාලනඥයන්ගේ අනුදැනුම මත. හැම මත්ද්‍රව්‍යකාරයෙක් පිටුපසම දේශපාලනඥයෙක් නෑ. දේශපාලන රැකවරණය ලැබෙන අපරාධකරුවොත් ඉන්නවා. දේශපාලන උපකාර නැතිව අපරාධ කරන අයත් ඉන්නවා. හැම අපරාධයකටම දේශපාලනඥයෙක් සම්බන්ධයි කියන එක ඉබරතඥ එක.


කුඩු ජාවාරම ජයටම කරපු ලොක්කා බේරිලා පැත්තක ඉන්න කිහිප දෙනෙක්ට දඬුවම් දීමක් පමණක් වෙයිද?


ලෝකෙ කොහෙවත් අධිකරණ ක්‍රමයක් තුළ හැමෝටම සාධාරණයක් වෙන්නෙ නෑ. අධිකරණ ක්‍රමය තුළ ධනවත්, බලවත් අයට සැලකිය යුතු ආරක්‍ෂාවක් තියෙනවා. රටේ ඉන්න දක්‍ෂතම නීතිඥයන්ගේ සහාය ඔවුන්ට තියෙනවා. ඒ වගේම බොහෝ බරපතළ අපරාධකරුවන් අධිකරණයට එන්නෙත් නෑ. ඒ නිසා ඔබ කියන දේ හරි. ඕනෑම අපරාධයකදී අධිකරණය තුළ දඬුවම් දීමේදී ධනවත් බලවත් අයට වාසියක් තියෙනවා. මීට වඩා හොඳ ක්‍රමයක් නෑ. එහෙමයි කියලා නීතියේ ආධිපත්‍ය වෙනුවට ධනවත් බලවත් මිනිස්සු මරන ක්‍රමයක් හරි වෙන විකල්ප ක්‍රමයක් නෑ. ඒක තමයි මරණීය දඬුවම දීමේ බරපතළකම තියෙන්නේ. ලෝකය පුරා ඉන්නවා තම නිර්දෝෂිභාවය ඔප්පු කළ නොහැකි දඬුවම්වලට ලක්වූ අය. මගේ අදහස නම් මරණීය දඬුවම තෝරා ගැනීම අදක්‍ෂ පාලකයන්ගේ තෝරා ගැනීමක්.


ඒ කියන්නේ මේ වෙලාවෙ රටේ ඉන්නෙ අදක්‍ෂ පාලකයෙක්ද? එහෙමද?


ඒ මරණ දඬුවමට උත්තරේ නම් ඒක අදක්‍ෂයි. මතු වූ ප්‍රශ්නය තමයි විශාල හෙරොයින් ජාවාරමක් පොලිසිය අල්ලා ගත්තා. ඒකෙන් පේන්නෙ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒකෙන් පේන්නේ පොලිසිය දක්‍ෂයි කියලා. ඒකෙන් පේන්නෙ අපේ රටේ මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එම ක්‍රියාවලිය බන්ධනාගාරය තුළ මෙහෙයවනවා කියලා දැනගත්තම තමයි මේ කම්පනය මතු වුණේ.


බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන සන්නිවේදනය වළක්වන්න පුළුවන් පහසු, විශ්වාසවන්ත තාක්‍ෂණික උපකරණයක් තියෙනවා 'ටෙලිෆෝන් ජෑමර්' කියලා. පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට දුරකතන ඇමතුමක් ගන්න බෑනේ මේ ජෑමර් නිසා. එතකොට මේ බන්ධනාගාර ටෙලිෆෝන් ජෑමර් හයි කරන්න දැන් අවුරුදු 6ක් තිස්සේ කතා කළා. හැබැයි ඒක හයි කරන්න යනකොට මේක නතර කරනවා. නතර කරන්නෙ බන්ධනාගාර නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් විසින්. ඔවුන් ඊට විරුද්ධයි.


ඒ පරිපාලනය මෙහෙයවන්නේ බන්ධනාගාර නිලධාරීන්ද? එහෙම නැත්නම් දේශපාලනයද?


කිසිම දේශපාලන සම්බන්ධයක් නෑ. එහි පරිපාලනය තියෙන්නේ නිලධාරීන් අතේ. ඒ අයගෙන් කොටසක් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට ටෙලිෆෝන් පාවිච්චි කරන්න කැමැතියි. තවත් පිරිසක් මේ කුඩු ජාවාරම්වලට ඍජුවම සම්බන්ධයි. ඒ අපරාධකරුවන්ට රැකවරණය දෙනවා. ෆෝන් එක ගිහින් දෙනවා. ඒ වෙනුවට මුදල් ගන්නවා. කුඩු ප්‍රවාහනය කරනවා. ඒ නිසා මේ බන්ධනාගාරය මූලිකව අපරාධ සිදු කරන විශ්වවිද්‍යාලයක් වගේ වෙලා.


බන්ධනාගාර නිලධාරීන් මත වරද පටවා නිහඬ වුණොත් සාධාරණද?


ඒ වෙනුවෙන් විකල්පයක් තියනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ බරපතළ වරදකරුවන් වී සිටින පුද්ගලයන් හුදකලා ප්‍රදේශයක වෙනමම විශේෂ ආරක්‍ෂාව ඇති සන්නිවේදන පහසුකම් නැති බන්ධනාගාර පිහිටුවා ඒ අය ඒවයෙහි වෙන්කොට තබන්න පුළුවන්.


එක බොහොම සරල ක්‍රමයක්. ඇමෙරිකා එක්සත් ජනපදයේ බරපතළ අපරාධකරුවන් වෙනුවෙන් අෑත ප්‍රදේශවල කාන්තාරවල වෙනම බන්ධනාගාර හදා තියෙනවා. ඒවයින් පැනලා යන්න බෑ.

ඔබ කිව්වා වත්මන් ආණ්ඩුව යටතේ පාතාල ක්‍රියාකාරකම් අවම වෙලා කියලා. එහෙනම් මහ මඟ මහ දවල් මිනීමැරුම් සිද්ධ වෙයිද?

එහෙම සිද්ධි තියෙනවා. මේ කරුණු අනුව පේනවා අපේ ආණ්ඩුව යටතේ අපරාධ අඩුවෙලා කියලා. එහි තොරතුරු සංඛ්‍යා ලේඛන මා පොලිසිය හරහා ලබාගෙන තිබෙනවා.


ඇතැම් ප්‍රදේශයක මහෙස්ත්‍රාත්වරයෙක් කියලා තිබුණා කසිප්පු නඩු තමන්ගේ අධිකරණයට දාන්න එපා කියලා. නීතිඥවරයෙක් හැටියට ඔබ මේ කාරණය අනුමත කරනවාද?


මං දන්නෙ නෑ. මං පිළිගන්නෙ නෑ. නීති විරෝධී මත්පැන් ගැන නඩු විභාග කළ යුතුයි. ඒක රටේ නීතිය. ඔය කියන්නෙ වෙන ගැටලුවක්. ඔය කියන්නේ ඡ්යජඪඵඥ ර්ණීපඤඪදචදජඥ ප්‍රශ්නයක් තිබෙනවා. පොලිස් නිලධාරීන්ට මෙම නඩු පැවැරීමට නීතිමය බලයක් තියෙනවා. ඒ ගැන රටේ අධිකරණ කිහිපයකම නඩු තීන්දු දීලා තිබෙනවා. මෙම පනත සම්මත කිරීමට රජය කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු හා දූෂණ විරෝධී කමිටුව මේ පිළිබඳ කෙටුම්පතක් සකස් කරලා ඒ කෙටුම්පත මුදල් අමාත්‍යවරයාට යවලා තියෙනවා.


පළාත් සභා මැතිවරණය කල් දාන්නෙ කාගෙ වුවමනාවටද?


කාගෙවත් වුවමනාවට පළාත් සභා මැතිවරණය කල් දාන්නෙ නෑ. මැතිවරණය සම්බන්ධව නීති සංශෝධනය කර තිබෙනවා. සීමා නිර්ණය පිළිබඳ එකඟතාවක් ඇතිකර ගන්න බැරිවී තිබෙනවා. ඒ වගේම සම්මත කළ මැතිවරණය හා එහි භාවිතය ගැන සැක සංකා ඇතිවී තිබෙනවා පසුගිය මැතිවරණ අත්දැකීම් එක්ක. ඒ නිසා අපි නීතිය සංශෝධනය කර ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරනවා. පක්‍ෂයක් ලෙස මැතිවරණයට සූදානම් වීම සඳහා කටයුතු සලසා තිබෙනවා.


දැන් රටේ ආණ්ඩුවක් නෑ වගේ නේද? තෙල් මිල අඩු කරනවා, ආපසු වැඩි කරනවා. ග්ලයිෆොසේට් තහනම් කරනවා, තහනම ඉවත් කරනවා. මොකක්ද මේ පරස්පර වැඩ?
තෙල් මිල වෙනම ප්‍රශ්නයක්. ලෝක වෙළෙඳපොළේ මිල අඩුවෙද්දී අඩු වෙනවා. වැඩි වෙද්දී වැඩි වෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් තියෙන්න බෑ. ග්ලයිෆොසේට් ප්‍රශ්නය මතු වුණේ ග්ලයිෆොසේට් තහනමින් පසු විකල්ප වල්නාශක රටට හඳුන්වා දෙන්න අපහසු වුණා. මේකෙන් ගොවීන් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා.


ජනාධිපති අපේක්‍ෂකයා අද රටේම මාතෘකාව. ඊළඟ එජාප අපේක්‍ෂකයා වන්නෙත් රනිල් වික්‍රමසිංහ මහතාමද?


කවුද අපේක්‍ෂකයා කියලා තවම තීරණය කර නෑ. ඊළඟ ජනාධිපතිවරණය ප්‍රශ්නය මතුවෙන්නේ 2019 සැප්තැම්බර්. අපි ඒ වෙලාවට නියත ලෙස ජයග්‍රහණය කළ හැකි අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවා. එක කොන්දේසියක් තියෙනවා අපේ පොදු අපේක්‍ෂකයා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයෙක් වෙන්න ඕන කියලා. ඒකට අනිත් අය එකඟ වී තිබෙනවා.


ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ගැන ඔබේම පක්‍ෂයේ කණ්ඩායමක් බරපතළ විවේචන ඉදිරිපත් කරනවා. ඔබ සිටින්නෙ කොතැනද?


එතුමට මං ගරු කරනවා. එතුමගේ නායකත්වය පිළිගන්නවා. ජනපති අපේක්‍ෂකයා තෝරන එක වෙන වැඩක්. ජනපති අපේක්‍ෂකයා තෝරද්දී ඒ අවස්ථාවේ දේශපාලනික තත්ත්වය බලලා දිනන්න පුළුවන් අපේක්‍ෂකයා තෝරන්නෙ. ඒ අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ වෙන කෙනෙක් විය හැකියි.


ඒ කියන්නෙ ඔබට ඔබේ නායකයා ගැන කිසිම විවේචනයක් ඇතිවී නැද්ද?


ඒවා ඉතින් මාධ්‍ය සමඟ කියන්නෙ නෑ. රටක් පාලනය කරද්දී අඩුපාඩු සිද්ධ වෙනවා. හොඳ දේවල් කරනවා. ඉතින් හොඳ දේවල් මාධ්‍ය ඉදිරියේ කියනවා. විශේෂයෙන්ම නායකයන්ගේ අඩුපාඩුකම් ගැන කතා කරන්නෙ අභ්‍යන්තරයේ. ආණ්ඩුව ගැන අපේ විවේචනයක් තියෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කළා. නායකයන් ගැන පාරේ විවේචනය කරන්නේ නෑ.
ගම්පෙරළියට වෙන් කරන මුදල් එජාපයට වගේම ශ්‍රී ලනිපයට සම සමව බෙදිය යුතුයි කියලා ශ්‍රී ලනිප පාර්ශ්වය ප්‍රකාශ කළා? මේ පක්‍ෂ භේදයක්ද? නැත්නම් පැහැදිලි රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කර්තවයක්ද?


පක්‍ෂය වැදගත් නෑ. ගම දියුණු කරන්න පක්‍ෂයක් නෑ. ඒ නිසා අනුපාත කතා කරලා තේරුමක් නෑ. අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon