ක්‍රිකට් කරුමය හා ගාලු උරුමය

  👤  2584 readers have read this article !
By mawbima 2018-07-22

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මෙතරම් කරුමයක් ඵල දුන් කාලයක් ඉතිහාසයේ නැති තරම්ය. ජාතික ක්‍රිකට් නායකයාට තරග පිට තරග තහනම් පැනවී ඇත. එපමණක්ද නොව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවාට හා පුහුණුකරුවාටද එරෙහිව ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ලෝක ක්‍රිකට් පරිපාලකයා වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන ඇත. තවත් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයද අර්බුදයට ලක්වී ඇත. නොනගත කාලයක් උදාවී ඇති ක්‍රිකට් මහගෙදර පරිපාලනය වෙනස් කරන්නට සුබ නැකතක් එනතුරු කවුරුත් බලා සිටී. එසේ අවුල් වියවුල් තත්ත්වයට පත්ව ඇති ක්‍රිකට් කණ්ඩායමේ හා පරිපාලන නාටකයේ ජවනිකා අතරට දැන් අලුතින්ම එක්වී ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කර දැමීමේ ජවනිකාවයි.

එනම් ජාතික ක්‍රිකට් පරිපාලනය හරහා රටේ ක්‍රිකට්වලට ඵල දුන් කරුමය කණ්ඩායමට පමණක් නොව ක්‍රීඩාංගණයක් දක්වාම දිවගොස් ඇත්තේ යළිත් වරක් කතා බහට ලක්වී ඇති ගාලු උරුමයක් නිසාය. එය නිකම්ම කතා බහක් නොව ක්‍රීඩාංගණය තිබෙන ස්ථානයෙන් ඉවත් කළ යුතුයැයි පෙණය පුප්පන මජර දේශපාලනඥයන්ගේ ආශීර්වාදය එම කතාබහට මුසු වී ඇතැයි පැවැසේ. ගාලු කොටුවේ පෞරාණික උරුමය රැකගැනීම ගැන කිසිදු විවාදයක් නැත. එය රැකගත යුතුයි යන කාරණාවට අපිද අත්දෙකම ඔසවන්නෙමු. එහෙත් නිල නොවන මට්ටමෙන් මෙරට ජාතික ක්‍රීඩාව බවට පත්කරගෙන ඇති ක්‍රිකට් ක්‍රීඩාවද මෙරට ප්‍රජාව තුළ සංස්කෘතියක් බවට ස්ථාපිත වී ඇති බවද උරුමයන් ගැන කතා කරන වගකිවයුත්තන් අමතක නොකළ යුතුය.

යුනෙස්කෝ සංවිධානයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලෝක උරුමයන්ගේ ලැයිස්තුවට සීගිරිය, දඹුල්ල පුරාණ රජමහ විහාරය, සිංහරාජ වනාන්තරය හා ගාල්ල කොටුව යන ශ්‍රී ලංකාවේ පිහිටි පෞරාණික ස්ථාන හතරක් ඇතුළත් බව අප දන්නා කරුණකි. නමුත් මෙකී ස්ථාන හතර සැලකීමේදී සීගිරියේ පෞරාණික උරුමයට හානි වන අයුරින් භෞතිකමය වශයෙන් සිදුකරන ලද හානි පිළිබඳව ඕනෑ තරම් වාර්තා විය. එම පරිශ්‍රය අවට රාත්‍රි උද්‍යාන ස්ථාපිත කිරීමට පවා මෙරට දේශපාලකයන් හරහා යෝජනා ගෙන ආවේය. එම යෝජනා තාවකාලිකව යටපත් වුවත් ඒවා නැවතත් ක්‍රියාත්මක නොවනු ඇතැයි සහතිකයක් නැත. දඹුල්ල පුරාණ රජමහ විහාරයට අදාළව ගත්තද එකී පෞරාණික උරුමයන්ට හානි වන පරිදි අනවසර ගොඩනැඟිලි ඉදිකර ඇතැයි වාර්තා විය. ඒවා පිළිබඳවද මෙරට උරුමයන් ගැන කතා කරන වගකිවයුත්තන්ගේ ප්‍රතිචාරය වචනවලට පමණක් සීමා විය.තවද නොඉඳුල් වැසි වනාන්තරයක් ලෙස ලොව ප්‍රකට වීම හේතුවෙන් යුනෙස්කෝ ලැයිස්තුවට වැටුණු සිංහරාජ වනාන්තරය ඉඳුල් වී අදට බොහෝ කාලයක් ගත වී ඇත. එම වනාන්තරයද මෙරට දේශපාලුවන්ගේ ආශීර්වාදයද ඇතිව සංහාරයකට ලක්වී ඇති බව ශ්‍රී ලංකාවේ පළමු පෙළ පුරවැසියන් දෙතුන් දෙනාද පිළිගෙන ඇත. මෙකී ස්ථාන තුනම ගත් කල මෙරට මානවයා විසින් භෞතිකමය වශයෙන් ඒවාට හානි සිදු කරමින් සිටී.

නමුත් ගාල්ල කොටුව නම් ලෝක උරුමය ලද පෞරාණික ස්ථානයට ඒ අසල සිදු කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාව නිසා කිසිදු හානියක් සිදුවූවා යැයි මෙතෙක් වාර්තා වී නැත. ගාල්ල ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයක් බවට පත්වන්නේ 1998 වසරේදීය. එතැන් සිට මේ දක්වා පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු විසින් එල්ල කරන ලද යෝධ හයේ පහරක් නිසා හෝ ඇදී යන පන්දුව ගාල්ල කොටු පවුර අසලකටවත් පතිත වීමේ අවස්ථාවක් නැත. ඒ තරමටම ක්‍රීඩාංගණය සහ ගාල්ල කොටු තාප්පය අතර විශාල දුරක පරතරයක් ඇත. ඒ අනුව බැලූ විට එකී ලෝක උරුමයන් තුනට සාපේක්‍ෂව කිසිදු භෞතිකමය හානියක් ක්‍රීඩාව නිසා ගාල්ල කොටුව ලෝක උරුමයට සිදු නොවේ. ප්‍රකාශ වන පරිදි සිදුවන එකම හානිය වී ඇත්තේ ගාල්ල කොටුව ලෝක උරුමය දර්ශනයට පමණක් බාධා වන පරිදි ඉදිකර ඇති ගොඩනැඟිලිය. ඒ නිසා මෙරට පිහිටි අනෙක් ලෝක උරුමයන් වගකිවයුත්තන්ගේ දැනුම ඇතිව හෝ නැතිව විනාශ වෙමින් පවතිද්දී හෝ විනාශ කරමින් සිටියදී ගාල්ල කොටුව ලෝක උරුමයේ දර්ශන පථයට පමණක් හානි වන අයුරින් ගාල්ල ක්‍රීඩාංගණයේ සිදුකර ඇති ඉදිකිරීම් පිළිබඳව බලධාරීන් ඉක්මන් වීම විහිළුවට කරුණකි.

කෙසේ වෙතත් 1974දී මෙරට පුරාවිද්‍යා ආඥාපනත යටතේ රක්‍ෂිත ස්ථානයක් බවට පත්කළ ගාල්ල කොටුව ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ 1988 වසරේදීය. 16 වැනි සියවසේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ගාල්ල කොටුව පසුව 17 වැනි සියවසේදී ලන්දේසීන් විසින් තවත් පුළුල් කොට ඉදිකරන ලද නමුත් 1796 වසරේදී මෙරට බලය අල්ලා ගත් ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1876 වසරේදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකළ බවට ඉතිහාසයේ සඳහන්ය. කෙසේ වෙතත් ලෝක උරුමයන් ලෙස නම් කර ඇත්තේ ගාල්ල කොටුව පුරාණ නගරය මිස ගාල්ල නගරය නොවන බව යුනෙස්කෝ ප්‍රකාශයට අනුවද ඉතා පැහැදිලිය. නමුත් මෙය බොහෝ දෙනා පටලවාගත් කරුණකි.

කෙසේ වෙතත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් (800) දවාගත් මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණ අතර වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත්තේ (තරග 15කදී කඩුලු 111ක්) මෙම ගාල්ල ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සතු අනෙක් සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ගාල්ලේදී ටෙස්ට් තරග 18කට සහභාගි වී කඩුලු 99ක් ලබා ගෙන ඇත. මේ පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා (19දා) පැවැති මාධ්‍ය හමුවකදී රංගන හේරත්ගෙන් විමසූ විට "එහෙම වුණොත් ඉතින් මගේ අවාසනාව වේවි" යනුවෙන් කියා සිටියේය. තවද මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර, ඉන් තරග 18ක්ම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. තවද මෙකී තරග සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය වන නිසාම එකී ගාලු උරුමයට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන බවද අප අමතක කළ යුතු නැත.

ඒ නිසා මෙම ක්‍රීඩාංගණය කවදත් ශ්‍රී ලංකාවට වාසනාවන්ත තත්ත්වයක් ගෙනදුන් ක්‍රීඩාංගණයක් බවත් ඒ අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම ගාල්ල කොටුව උරුමය යන දෙකම රැකගත යුතු බවත් අප වෙත ප්‍රකාශ කළ ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග මහතා "ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ප්‍රශ්න ඇති වුණේ අද ඊයේ නොවෙයි.

මම ක්‍රිකට් සභාපති ලෙස සිටින කාලයේදීත් මෙවැනි ප්‍රශ්නයක් පැමිණියා. විශේෂයෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා/රාත්‍රි එක්දින තරග පැවැත්වීමේ අපේක්‍ෂාවෙන් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමේදී ලෝක උරුමයෙන් ගාලු නගරය ඉවත් කිරීමේ අවදානමක්ද මතු වුණා. ඒ අනුව අපි එය නතර කළා. හොඳට මතක තියාගන්න මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම ටෙස්ට් තරග ජයග්‍රහණය කරන්නේ මේ ක්‍රීඩාංගණයේදී. අපේ කාලෙත් එහෙමයි. අද දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ මේ ක්‍රීඩාංගණයේදී. ඒ නිසා අපි ගාල්ල ක්‍රීඩාංගණය ආරක්‍ෂා කරගැනීමට මේ ප්‍රශ්නය දෙස වඩාත් විවෘත මනසකින් බැලීම කළ යුතු වෙනවා.

මම නම් කියන්නේ ප්‍රශ්නයට හේතුව අනවසර ඉදිකිරීම් නම් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පත්ව මේ ගොඩනැඟිල්ල ඉවත් කළොත් ගාල්ල ක්‍රීඩාංගණය දිගටම තියාගන්න පුළුවන් වෙයි. ඕන නම් ගාල්ල ක්‍රීඩාංගණයේ වසරකට ටෙස්ට් තරග දෙක තුනක් ක්‍රීඩා කරයි. මේ තරග ක්‍රීඩා කරන්න අපිට ලොකු ස්ථිර ක්‍රීඩාගාර අවශ්‍ය නැහැ. අපිට ස්ථිර නොවන ඉදිකිරීම් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි විසඳුමකට නොයන්නේ වෙනත් බලවේග නිසාද කියලත් මම දන්නේ නැහැ. අපේ දඟ පන්දු යවන්නන්ට හොඳම ක්‍රීඩාංගණය මේ ගාල්ල ක්‍රීඩාංගණය. ගාල්ල සහ මොරටුව ක්‍රීඩාංගණය තමයි අපිට තරග දිනන්න තියෙන හොඳම ක්‍රීඩාංගණ. සියල්ල තේරුම් ගෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආරක්‍ෂා කරගන්න ක්‍රමවේදයක් සැකසීමට අද පරිපාලනය කරන කිසිම කෙනෙක්ට මොළයක් නෑ කියන එක තමයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ" යැයිද පැවැසීය.

සිරිනාම රාජපක්‍ෂ
ඡායාරූපය - තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon