අසුපිනි ඇල්ලෙන් මරු තුරුලට වැටෙන සිරුරු ගොඩ ගන්න මල් මාමා

  👤  2634 readers have read this article !
By mawbima 2018-07-22

අසුපිනි ඇල්ල ගැන කාගෙත් අවධානය මේ වනවිටත් යොමුවී ඇත්තේ 15 වැනි පුද්ගලයාද අසුපිනි ඇල්ලට බිලිවීම හේතුවෙනි. මෙලෙස ඇල්ලට වැටුණු පුද්ගලයන්ගේ මළසිරුරු 14ක් ගොඩට ගත් අසුපිනි ඇල්ල ප්‍රදේශයේ තවමත් ජීවත් වන 74 හැවිරිදි රාජපක්ෂගේ අබේරත්න හෙවත් "මල් මාමා"ට 15 වැනි අතුරුදන් වූ තරුණයා සොයන්නට මෙවර ඔහුගේ දරුවන්ගේ කැමැත්ත නොලැබී ඇත්තේ ඔහු සිතින් ශක්තිමත් වුවද අබේරත්නගේ වයස ගැන සිතා බව උඩුවැල්ලේ ග්‍රාම නිලධාරි එච්.ඩබ්ලිව්. අසේල කෝලිත ආරියරත්න මහතා පවසනවා.

"මරුට අත වනන දියඇලි කොමළිය" ලෙසද අසුපිනි ඇල්ල විටක හඳුන්වයි. වසරකට වතාවක් තරුණ පිරිස් බිලිගන්නා ගැඹුරු වළක් මෙහි ඇත. මෙය හඳුන්වන්නේ "මිනී කඳ වළ" ලෙසය. මෙයට වැටුණු මිනිස් සිරුරු 14ක් ගොඩට ගන්නට එම වළට පැන ඒ හපන්කම අදටත් කරන්නේ මෙම සුවිශේෂි පුද්ගලයායි. වසර 7කට පමණ පසුව 15 වැනියාද මෙලෙස ඇල්ලෙන් වැටුණේ පසුගිය 14 වැනි දින දහවල් කාලයේදීය. අබේරත්න කියන අන්දමට මේ වළේ ගැඹුර අඩි 40කටත් වඩා වැඩි බවත් මෙහි වතුර යන ගැඹුරු දෝනාවන් ඇති බවත් ඔහු පවසයි. ඒ නිසාම ඔහුගේ මේ අපූරු කතාව අද රටට කියන්නට අදහස් කළෙමු.

ඔහු අසුපිනි ඇල්ලේ මිනී ගොඩ ගත්තා සේම අපූරු කවි ලියන්නටත් බටනළා වාදනයටත් දක්ෂයෙකි. එමෙන්ම බටනළාව රිද්මයකට අනුව නාසයෙන් වාදනයටද ඔහුට හැකියාවක් ඇත. නාසයේ බටනළා දෙකක් වුවද තබාගෙන වාදනය කිරීමට උපන් හපන්කමක් ඇති අබේරත්න ලියූ කවියකින් අපේ කථාව ආරම්භ කරමු.

ආදර මාගේ ගං කොමළිගේ රඟ බලන්නට
ආ අය ලිස්සලා යයි ඇගේ හද මැදට
විගසින් ජල රකුසො එයි උන් බිලි ගන්නට
මළ මිනී බරයි කොමළිගෙ මුදු හදවතට

මා ගොස් හදවතේ පතුලට කිමිද යමි
මළකුණු ගෙනත් අන් අයට භාර දෙමි
කිසිම දිනක ඇගේ හද කිලුටු වන්නට නොදි
දිවි ඇති තුරා ඇගෙ හද පිරිසුදු කර තබමි

අරණායක ගම්පොළ හෙම්මාත ගම
කුරුඳුවත්ත පානදුර මළඋන්ගේ ගම
අදටත් සැකය නැත පොලිසිය මාගේ ගම
රාජා, අබේ, මල් මාමා යන මගේ නම

රාජපක්ෂ ගෙදර අබේරත්න නොහොත් කවුරුත් හඳුන්වන අසුපිනි ඇල්ලේ "මල් මාමා" කිවහොත් ඔහු ගැන ඔහුගේ දක්ෂතා පිළිබඳ අසුපිනි ඇල්ල නරඹන්නට පැමිණි ගවේෂණශීලී සංචාරකයෝ සාක්ෂි දරති. දැනට වයස 74ක් වුවත් ඔහු තාමත් තරුණයකුට වඩා සවි ශක්තියෙන් යුතු පුද්ගලයෙකි.

පදිංචිව සිටින්නේ උඩුඇල්ල ග්‍රාමසේවා වසමේය. ඒ නිසාවෙන් අපද ඔහු හමුවීමට මේ සිදුවීමෙන් පසුව අසුපිනි ඇල්ල ආරම්භ වී පහතට කඩා හැලෙන ඇපලවත්ත ප්‍රදේශයට ගියෙමු. අබේරත්න ජීවත් වන්නේ අසුපිනි ඇල්ල ආසන්නයේය. ඇල්ල පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ කෙළවරයි. ඇල්ල ආරම්භ වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ රක්ෂා කන්ද යන ස්ථානයෙන්ය. කුඩා දිය දහරාවක් ලෙස ආරම්භ වී පසුව මා ඔය ලෙස සබරගමුව හරහා ගලා යයි.

සබරගමුව පළාතේ මිනිසුන් වැඩි වශයෙන් බිලි ගන්නා ස්ථානයක් වන මෙහි ඇති සුන්දරත්වය සේම භයානක බව මොනවට පැහැදිලි කර දෙයි. ඇල්ලේ බිලි ගන්නා බොහෝ දෙනෙක් තරුණයන් වීම විශේෂයයි. තවද සංචාරයේ පැමිණෙන තරුණ පිරිස්වලට ගම්මුන් විසින් මෙහි භයානකකම පිළිබඳ දැනුවත් කිරීම කොතෙක් කළ නමුත් ඒ පිළිබඳ සැලකිලිමත් බවක් නොදැක්වීම හේතුවෙන් වටිනා ජීවිත රැසක් නිරපරාදයේ රටට අහිමි විය. අබේරත්න පවසන පරිද්දෙන් මේ මරණවලින් බොහොමයක් සිදුව ඇත්තේ ඇල්ල තරණය කරන්නට ගොස් ලෙස්සා වැටීමෙනි. ලෙස්සා වැටුණහොත් ඇල්ල කඩා වැටෙන පහත් බිමේ ඇති ගැඹුරු ආවාටයක් වැනි ස්ථානයට පුද්ගලයකු වැටීම හේතුවෙන් එහි ඇති වේගවත් දිය පහර නිසා ගැඹුරු සහිත ස්ථානයේ ගල් දෝනා අතර පුද්ගලයන් සිරවීමෙන් කොතරම් උඩට එන්නට උත්සාහ කළත් මෙහි ඇති ගල් බිත්ති මත වැදීම නිසා ගොඩ එන්නට බැරි වන අතර කඩා හැලෙන ඇල්ලේ වේගවත් දිය පහර එම අවස්ථාවට බාධා කරන බව පවසයි. කොතරම් පිහිනුම්වලට දක්ෂතා ඇත්තකු වුවත් මෙම මායාකාරී ස්වභාවය නිසා ජීවිතයට සමුදෙන්නට සිදුවන බව අප සමඟ පවසා සිටියේය. ඒ නිසාම මෙයට "මිනීකඳ වළ" ලෙස අදත් භාවිත කරන බව පවසති.

අබේරත්න උපන්දා සිට මෙම ජල පහරවල්වල අග සහ මුල ගැඹුර නිසි ලෙස දන්නා බවත් සමහර වැසි නැති කල්හි තමන්ගේ ස්වාභාවික අධ්‍යයනට විශාල සහයෝගයක් පරිසරයෙන් පවා ලැබී ඇති ආකාරයත් පවසයි. මේ හේතුවෙන් වතුර යට කරන කටයුතුවලදී තමන්ට විනාඩි 12කට වඩා ගැඹුරු ජලයේ කිසිදු බාධාවකින් තොරව සිටීමට ඇති හැකියාව පිළිබඳ ද ඔහු මෙසේ පවසයි.

"මහත්තයෝ මේ ඇල්ල වැටෙන තැන මිනීකඳ වළ කියලා තමයි හඳුන්වන්නේ. ඇල්ල පටන් ගන්නේ රාක්ෂා කන්ද කියන ස්ථානයෙන්. ඒ නිසාම මේ ඇල්ල බොහෝ අවස්ථාවලදී රාක්ෂ ස්වභාවයෙන් තමයි ඉන්නේ. විටෙක භයානක ගොර හැඩි ශබ්ද පවා නිකුත් කරනවා. සමහර වසරේ දවස් තියෙනවා ඒ දිනවල ඇල්ල නිකුත් කරන සමහර ශබ්දවලින් මෙයට බිල්ලක් අවශ්‍ය බව පෙන්නුම් කරන වෙලාවල්ද තියෙනවා. ඉස්සර එහෙම කාලවලදී තරුණ ළමයි ඇවිල්ලා මේකේ විනෝද වෙනකොට බිලි අරගන්නවා. ඇල්ල වැටෙන පහත මිනීකඳ වළ ගාවට අපි උණ ගහක අග්ගිස්සක් දික් කරහොත් ඒක කැඩෙනවා. ඒ තරම් වතුර සැරයි. ඇල්ල නඟිින අය ගල් ලෙස්සලා හෝ මෙහි තිබෙන බැල තණ පඳුරු ගැලවිලා හරි වැටුණොත් වැටෙන්නේ මේ ඇල්ලට තමයි. වැටිලා ඇල්ලත් එක්කම ඇවිල්ලා මේ වළේ වතුර පතිත වන ස්ථානයට ගියහම නිකම්ම මේ වතුර සැරට ගැඹුරු වළට යනවා. එහෙම අවස්ථාවල ගොඩට එන්න අමාරුයි. නමුත් මට නම් මේ සියල්ල හොඳට හුරු පුරුදු නිසා ඇල්ල වැටෙන තැනට පැනලා මේ වැටෙන අය ගන්නවා.කවදාවත්ම කවුරුවත් බේරාගන්න බැරි වුණා. මොකද අපි දැන ගන්නකොට සියල්ල වෙලා ඉවරයි. අන්තිමේදී මිනී ගන්න නාවික හමුදාවෙන් නොවෙයි ලංකාවේ මොන දක්ෂයා ආවාත් එයාලා එහි ගැඹුර කරා යන්න බයයි. මම කිසිදු පිහිනුම් ඇඳුම් කට්ටලයක් නොමැතිව මේ හපන්කම් කරනකොට ඒ ස්ථානයේ ඉන්න අය පවා පුදුමු වෙනවා. ඒ විතරක් නෙවෙයි මහත්තයා මේ ස්ථානයට තරුණ ගැහැනු ළමයි මරලා දාලා ගියපු වාර පවා තියෙනවා. ඒ මිනී ඇටකටු පවා මම ගොඩඅරන් දීලා තියෙනවා. නමුත් මේ සියල්ල මම කරන්නේ මුදල් බලාපොරොත්තුව නොවෙයි. අද මම කියන්නම් මහත්තයා මේකේ මිනී 14ක් ගොඩගත්ත සිද්ධි කිහිපයක්. එයින් සමහරක් හරි වේදනා සහගතයි,

අබේරත්න විසින් මෙම මිනී ගත් ආකාරයන් රැසක් අපිට කියන්නට විය. එයින් බොහොමයක්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හා මධ්‍යම පළාතින් තරමක් බැහැර වූ ඒවාය. දැනට වසර කිහිපයකට උඩදී මියගිය ජනාධිපති නීතිඥ පානදුර ජීවත් වූ සුනිල් පොතුපිටිය මහතාගේ මළ කඳ සොයා දී ඇත්තේ අබේරත්න මහතා බව අප සමඟ කියා සිටී. දැනට අවුරුදු 22කට කලින් මම අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ තමයි අසුපිනි ඇල්ලේ දූෂණය කරලා ගැහැනු ළමයෙක් මරලා දාලා ඒකේ ඇටකටු ටික අසුවුණා. මම දන්නෙත් නැහැ. පොලිසියෙන් කරන ලද සෝදිසියකදී මාගේ සහයෝගයෙන් මේ ඇටකටු සොයා ගත්තේ. සමහර විටෙක මේ ඇල්ලට තල්ලු කරාද ගිල්වලා මැරුවාද කියලා දන්නේ නැහැ. අපි හිතමු කෙසේ හෝ අර මං කියපු ඇල්ල පාමුල ඇල්ලේ ගැඹුරු වළට මනුස්සයෙක් ගියා කියලා.

බොහෝ වෙලාවල්වල පැය 24ක් බොඩි එකක් වැටිලා තිබුණාම ඉදිමෙනවා. පස්සේ වතුරත් එක්ක කැරකෙනවා වළ තුළම. අන්තිමේදී උඩට එනවා. බැරි වෙලා හරි අර වතුර සැඩ පහරට අතක් හරි යම් අවයවයක් අසුවුණහොත් පල්ලෙහාට ගහගෙන යනවා. මේ දරුවත් ඒ ආකාරයෙන් ගහගෙන යන්න ඇති. පල්ලෙහා වළක් පරීක්ෂා කළා. මම පයිනකොට පෑගුණා මිනියක්. පස්සේ බලනකොට කුණු වෙලා. රාලහාමි කිව්වා ඇටකටු තිබුණොත් ඇති කියලා. මම ඒ මිනිය අතකින් අරන් සෙලෙව්වා. සැමන් වාගේ කෑලි ගැලවිලා වැටුණා. කුණු වෙලා තිබුණ නිසා පස්සේ පොහොර උරයක දාලා ගිහින් රාලහාමිට දුන්නා. මේ මිනියේ කකුල කෙළවරේ ඒ දරුවා ඇඳගෙන හිටපු යට ඇඳුමක් හිරවෙලා තිබුණා. අනිත් ඇඳුම් තිබුණේ නැහැ. මම මල්ලට දාන කොට මාගේ එක ඇඟිල්ලක් මේ යට ඇඳුමේ වැදිලා හිල්වුණා. ඒ මාගේ මැදඟිල්ල. පස්සේ මේක නුවර ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුව ගිහිල්ලා මටත් කතා කළා.

පස්සේ මගෙන් මේ යට ඇඳුම පෙන්නලා තමුන්ට මේදේ හඳුනාගත හැකිද කියලා විමසුවා. නමුත් මේ සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා තිබුණේ. එක පාරම මතක නැති වුණත් ටිකක් කල්පනා කරලා බලනකොට එදා සිද්ධිය මතක් වුණා. පස්සේ මම ඒ පෙන්නුව යට ඇඳුම ටිකක් පහත් වෙලා බැලුවා. එය මා අසලට රැගෙන පැමිණි කෙනාගෙන් මා එහි තිබූ මාගේ මැදඟිල්ලට එදා හිල්වුණ සිදුර තුළින්ම මා ඒ ඇඟිල්ල දමලා කීවා, ස්වාමිනී මෙහි තිබෙන හිල මා එදා මේ ඇටකටු සොයාගන්නා විට කකුලේ කෙළවරේ හිරවී තිබුණු යට ඇඳුම බව, එම ඇටකටු මල්ලට දමන විට මේ මාගේ මැදඟිල්ලට මේ සිදුර එම අවස්ථාවේ ඇතිවූ බව කියා සිටියා. පසුව නීතිඥ මහතුන් සිනාසෙනු උසාවියේ බොහෝ දෙනකු විස්මයෙන් බලනු දැක ගැනීමට හැකිවූ නිසා මා හිතුවා මා අතින් වැරැදි සාක්කියක් සිදුවූවාදැයි කියා. නමුත් මා විත්තිකූඩුවෙන් බසින විට එහි සිටි බන්ධනාගාර නිලධාරියා මාගේ ඇඟට තට්ටු කර කීවා තමුසේ නියම සාක්කිය දුන්නා කියා. මට ඒ වෙලාවේ සතුටක් දැනුණා. අන්තිමේදී ඒ දරුවා දූෂණය කරලා මරපු කෙනා සිපිරි ගෙයට ගියා. මොකද ඒ යට ඇඳුම තම දියණියගේ බව මවුපියෝ හා සහෝදරයෝ හඳුනාගෙන තිබුණා. කවදාවත් මම සල්ලි ගන්න කෙනෙක් නෙවෙයි. නමුත් මේ නඩුවෙන් පස්සේ මට මුදල් වවුචරයක් තියෙනවා කියලා පොලිසියට යන්න කිව්වා, ඒක අස්සන් කරලා ලබාගන්න."
මෙම සිද්ධියේ ඇටකටු හා පොලිසියට අවශ්‍ය සියල්ල සොයා දී ඇත්තේ අසුපිනි ඇල්ලේ ජීවත් වන අබේරත්න විසිනි. මේ ආකාරයෙන් අසුපිනි ඇල්ලේ අමිහිරි මතක සටහන් අපිට පවසා සිටි ඔහු මෙතෙක් මේ දිය ඇල්ලේ වැටී මියගිය සිරුරු රැසක්ම ගොඩ ගෙනැවිත් දී ඇත්තේ තම ජීවිතය පරදුවට තබමිනි.

"අනේ මහත්තයෝ දැන් මේ ජීවත් වුණ කාලය හොඳටම ඇති. ඕනෑ වෙලාවක කියන්නෙ මැරෙන්න බය නෑ. ඕනෑම උදව්වකට මම එනවා. මම මැරෙන්න කලින් මගේ ගාව ගොඩක් වටිනා තොරතුරු රැසක් තියෙනවා. ඒවා ගන්න මම ඉගෙන ගත්ත මිනිහෙක් නොවෙයි. ඒත් මේ වටිනා දේවල් මහත්තයාට රටට ගොඩක් වටීවි"
සුන්දර පරිසරය සමඟ නිතර ගනුදෙනු කරන ඔහු දරුවන් 8 දෙනකු උස් මහත් කරන උතුම් පීතෘත්වයකි. පිරිමි දරුවන් 5 දෙනකු හා ගැහැනු දරුවන් 3 දෙනකු වන අතර ඔහුගේ බිරිය අවුරුදු දෙකකට කලියෙන් මිය ගොසිනි. වත්ත පුරා මල් වගා කර ඇති අතර අමු මිරිස් පැළයේ සිට කෙසෙල්, වී ගොවිතැන ඇතුළු සියලු ගොවිතැන් කටයුතු තම ශක්ති ප්‍රමාණයට කර ඇති ආකාරය දැකගත හැකිය. තමන් විසින් කරන ලද වීර ක්‍රියාවක් පිළිබඳ ඔහුගෙන් විමසන්නට සිතුවේ ගම්මුන් කිහිපදෙනකුද කනෙන් කොනෙන් අපිට කියූ අබේරත්න කරන ලද එම ක්‍රියාව නිසාය.

බටනළා වාදනය හා කවි ලියන්නටද කියන්නටද ඔහුට ඇත්තේ පුදුම විදිහේ හැකියාවකි. මේ නිසාම ඔහු කියූ මේ කවිය ඔහු මුහුකුරා ගිය මිනිසකු නොවුණත් එම පරිසරය ආරක්ෂා කරන්න ඔහු ආයාචනා කළේ මෙසේය.

මේ ලෙස රැකල දුන් ගම අසුපිනි ඇල්ල මාඔය
හානිය නොකර පරිසරයද ජලය රැක ගත යුතුය
ඉදිරිය සිතා සොබාදම පරිසරය දියුණුව කළ යුතුය
ඔබ හැම දෙනා රකිනා ලෙස ඉල්ලමි එය ඔබ සතුය

ඡායාරූප හා සටහන මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon