බියර් බෝතලේට වතුර දාගෙන දරුවට පෙව්වා කියන අරුම පුදුම තාත්තා

  👤  2687 readers have read this article !
By mawbima 2018-07-22

සාලිය කුමරු 'අශෝකමාලාට' පෙම් බැන්දේ තමන්ට හිමි කිරුළ සහ සිහසුන ප්‍රතික්ෂේප කරමිනි. ධනය, කුලය, බලය එහිදී වැදගත් සාධක නොවීය.
මේ මහා පරිවර්තනයට සාලිය කුමරු පත් කළ 'අශෝකමාලාගෙන්' පැවැත එන ජන කොට්ඨාස ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී ජීවත් වෙති.

ඔවුන් අතරින් බහුතරය තම පරපුරේ ගෞරවය රැකගෙන ස්වෝත්සාහයෙන් නැඟී සිටින දිරිය මිනිසුන්ය. එවැනි මිනිසුන් අතර සිටින සමහරු නිසා 'කිරි කළවලට ගොම බිඳු' වැටුණු අවස්ථාද නැතුවාම නොවේ.

පසුගියදා මුහුණුපොත කැලඹූ අවුරුද්දකුත් දින 13ක් වයසැති අත දරුවකුට බියර් පෙවීමේ දසුන් ඇතුළත් වීඩියෝවද එසේ 'කිරි කළයකට ගොම බිඳුවක් නොව, ගොම තලියක් මුසු වූ' තවත් එක් කතාවකි.

මේ කතාවේ කතා නායකයන් වූ මේ දරුවාගේ පියා වන කේ.ජී.වී. රෝහණ සරත්චන්ද්‍ර හෙවත් ගාමිණී (40) එය වීඩියෝ ගත කර මුහුණුපොතට මුදා හැරි බවට සැක කරන මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් (38), සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23), මොරගහමුලගෙදර චන්ද්‍රසිරි හෙවත් බණ්ඩයියා (50) යන සැකකරුවන් මීගලෑව පොලිස් ස්ථානාධිපති ඩබ්.පී.බී. විජේසූරිය මහතාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කිරීමෙන් පසු දැන් රිමාන්ඩ් සිර මැදිරියකය. සිද්ධියට මුහුණදුන් දරුවා ලක්ෂයක බැඳුම්කරයක් මත පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවාගේ මවට භාර දීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් ජූලි 18 වැනි දින පළමුවරට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම අවස්ථාවට මෙම සැකකරුවන් පදිංචි මීගලෑව පොලිස් වසමේ 313 ගණන්ගමුව ගම්මානයේ පදිංචි ස්ත්‍රී, පුරුෂ පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබිණි. "මේ ළමයාට බියර් නෙමේ පෙව්වේ වතුර" මාධ්‍යවේදීන්ට ඔවුන් විරෝධය පළ කළේ එසේ පවසමිනි.

අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් තුන් දෙනකු පෙනී සිටියහ. ඔවුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සිද්ධිය පිළිගන්නා බව හා නොදැනුවත්කම නිසා එවැන්නක් සිදුවූ බවය.

ඒ ප්‍රකාශයට අනුව නම් මේ දරුවාට නොදැනුවත්කමින් හෝ පොවා ඇත්තේ වතුර නොව බියර්මය.

අවුරුද්දකුත් දින 13ක් වයසැති අත දරුවකුට බියර් පොවා 'ෆන්' එකක් ගත්තා මදිවාට එය මුහුණුපොතට මුදාහැර එම 'ෆන්' එක 'ඩබල්' 'ත්‍රිබල්' කරගන්නට තරම් මේ 'නොදැනුවත්කම' හේතු වී තිබිණි. අශෝකමාලා පරපුරෙන් පැවැත එන ජන කොට්ඨාස පදිංචි ගම්මානයක් ශ්‍රී ලංකාවේ එකම ගමක් සතු වාහන (ඩිමෝ බට්ටා) 175ක හිමිකරුවන් සිටින ගමක් බව අප මාධ්‍යයට වාර්තා කළේ මීට වසර තුන හතරකට පෙරය. මේ කියන මීගලෑව ගණන්ගමුවද අශෝකමාලා පරපුරෙන් පැවැත එන ජන කොට්ඨාසයකට අයත් බහුතරයක් පදිංචි ගම්මානයකි. අපි මේ ගම්මානයට අප්‍රකටව ඇතුළු වූයේ මේ දැනුවත්භාවයෙන් තොර බව ගමටම පොදු සාධකයක්දැයි සොයා බලන්නටය.
නැතිනම් 'කාපු මකුණාට' මුහුණු දීමට සිදුවන ඉරණමටම නොකාපු මකුණාටද මුහුණ දීමට සිදුවේ.

සැබෑ ගවේෂණයේ ප්‍රතිඵලය වූයේ ගණන්ගමුව කළුම කළු ගමක් නොවන බවය. එහෙත් එය සුදුම සුදු ගමක්ද නොවේ. ශ්‍රී ලංකාවේ හැම ගමක්ම කළු සුදු මිශ්‍ර ගම්ය. එය ගණන්ගමුවේදී පමණක් කළු හෝ සුදු විය නොහැකිය.

මේ ගමේ හැම නිවැසියකුටම පාහේ අඩුම ගණනේ තුන් රෝද රථයක් හෝ හිමිය. ඩිමෝ බට්ටා වාහන හිමියන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. නවීන මෝටර් රථ සහ වෑන් රථ කිහිපයක හිමිකරුවන්ද ඒ අතරය. මේ ගමේ හැම නිවෙසකම පාහේ ලක්ෂ 2 _ 3ක් වටිනා යතුරුපැදිද ඇති බව දැකගත හැකි විය. මේ වාහන යොදාගෙන සාධාරණ වෙළෙ¼දාම්වල යෙදෙන යහපත් මිනිසුන්ද එම යාන වාහනවලින් ගොස් අවකල් ක්‍රියාවල යෙදෙන 'ඇම්ඩන්ලා"ද මේ ගම තුළ වාසය කරති.

ගමේ කාන්තාවන්ගෙන් කොටසක් කහවණු සොයා එතෙර ගොසිනි. ගමේ සිටින බොහෝ දෙනා හිමිදිරියේම පිටත්ව යන්නේ විවිධ වෙළහෙළ¼දාම්වල යෙදෙන්නටය.
පිරිසක් කාපට් වැනි දෑ අලෙවි කරති. තවත් පිරිසක් පරණ යකඩ ඇතුළු විවිධ අබලි භාණ්ඩ එකතු කර අලෙවි කිරීමේ ව්‍යාපාරයේ නිරත වෙති.

මේ අතර ගාල්ල, මාතර, අනුරාධපුර, කතරගම, පොළොන්නරුව ආදී අෑත දුර ප්‍රදේශවලට ගොස් විහාරස්ථාන හදන්නට වකුගඩු සහ හෘද රෝගීන්ට ආධාර එකතු කරන්න ව්‍යාජ ටිකට්පත් හා ව්‍යාජ ලිපිගොනු සකස් කර ගෙන ඒ කූට ව්‍යාපාරයන්හි නිරත වන්නන්ද නැතුවාම නොවේ.

සාලිය අශෝකමාලා පරපුරට අනන්‍ය වූ නීචකුල බන්ධන වශී ගුරුකම් කරන ගුරුකම් මධ්‍යස්ථාන කිහිපයක්ද ගමේ තැන තැන පිහිටා ඇත.
ඒවායින් පිහිට පතා එන අය අතර 'ප්‍රාඩෝ' වැනි සුපිරි වාහනවලින් පැමිණෙන සුපිරි පැලැන්තියේ ඇත්තන්ද සිටිති.

රටේ හැම ගමකට පොදු නීති විරෝධී මත්වතුර අලෙවිය, බූරුවා ගැසීම, මුදල් පොලියට දීම වැනි ව්‍යාපාර පවත්වාගෙන යන්නන් මේ ගමේද සිටින බව අපට දැනගන්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන මෙන්ම මීගලෑව ගණන්ගමුවද කළුපාට හෝ සුදුපාට නොව කළු, සුදු මිශ්‍ර අළු පාට ගමක් බව අප මුලින්ම සඳහන් කළේ ඒ නිසාය. මව විදෙස් ගතව සිටීම නිසා සහ මව, පියා දෙදෙනාම කුමන හෝ ජීවන වෘත්තියකට හිමිදිරියේම නිවෙස්වලින් පිටවන නිසා දහවල් කාලයේ ගම තුළ සිටින්නේ විවිධ වයස් මට්ටම්වල දරු දැරියන්ය. මීගලෑව අවට පාසල්වලට අධ්‍යාපනය ලබන්නට යන මේ දරු - දැරියන් සවස් කාලය ගත කරන්නේ මවුපිය රැකවරණයෙන් සහ උණුසුමින් තොරවය. ඔවුන් ගැන සොයා බලන්නට ඔවුන්ට ඔවුන් හැර වෙනත් කිසිවකු නැත. මේ නිසා ඔවුන්ට ලැබී ඇති අසීමිත නිදහස ඔවුන් භුක්ති විඳින්නේ නිසි නින්දේය.

මේ නිසාමදෝ මේ ගමේ බොහෝ දරුවන් ඉතා අඩු වයසින් විවාහකයන් බවට පත්ව මවුපියෝ වෙති.

එයට සමගාමීව ගමේ කෙල්ලන් පිටගම්වල කොල්ලන් සමඟද, ගමේ කොල්ලන් පිටගම්වල කෙල්ලන් සමඟද ආදර සබඳතා ගොඩනඟා ගන්නා අතර ඉන් බහුතරයක් එම ගම තුළම පදිංචිකරුවෝ වෙති. ගල්ගමුව නගරයෙන් ඇහැටුවැව මාර්ගයේ යනවිට හමුවන වැටකොළුවාගම හන්දියෙන් හැරී උල්පතගම හරහා මීගලෑව මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ යනවිට මෙම ගම්මානය හමුවේ.

ගමේ පන්සල මුල්කොටගත් විවිධ ආධ්‍යාත්මික වැඩසටහන්ද මේ ගම තුළ ක්‍රියාත්මකය. වෙසක්, පොසොන් සමය වැනි සමයන්හි පැවැත්වෙන දන්සල් එහිලා විශේෂිතය.
අවුරුදු එකකුත් දින 13ක් වයසැති ගගනාත් සරත්චන්ද්‍ර නම් අත දරුවාට බියර් පෙවීම සිදුවන්නේ මෙවන් එකිනෙකට පරස්පර ලක්ෂණයන්ගෙන් සමන්විත ගම්මානයකදීය. එම බියර් පෙවීම කරන්නේ දරුවාගේ පියාමය.මේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ ප්‍රථම සහ එකම සිද්ධිය නොවේ. වාර්තා වූ සිද්ධීන්වලට වඩා විශාල ප්‍රමාණයක් වාර්තා නොවූ සිදුවීම් තිබිය හැකි බව පසක් වන්නේ මෙම සිදුවීම 'ෆන්' ගන්නට මුහුණුපොතට මුදා නොහරින්නට වාර්තා නොවූ සිදුවීමක් වන නිසාය.

මීගලෑව පොලිස් ස්ථානාධිපති ඩබ්.එම්.පී.බී. විජේසූරිය මහතා සිය නිලධාරීන්ද සමඟ එක්ව මේවා පිළිබඳව සොයා බලා කටයුතු නොකරන්නට මේ ගම්මාන අළු පාට නොව කළුම කළු කළු පාට ගම්මාන වීම වළකනු නොහැකිය. නමුත් විශාල පොලිස් බල ප්‍රදේශයක ගම් රැසක කටයුතු සොයා බැලීමට සිදුව ඇති හෙයින් පොලිස් ඇසට වැලි ගසන අයට ඒ සඳහා ඉඩ නැතුවාමද නොවේ. කෙසේ වුවද මේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සදාකල් හිරගෙදර ගත කරන්නේ නැත. ගත කළ යුතුද නැත. ඔවුන් ඇප ලබා සමාජගත වනු ඇත. කවදා හෝ දිනෙක දඬුවම් ලබන හෝ නි‍ෙදාස් කොට නිදහස් වන මිනිසුන් ලෙස සමාජගත වනු ඇත.

වරදට දඬුවම් දුන් පමණින් සමාජය යහපත් වේ නම් ලෝකයම මීට වඩා යහපත් විය යුතුය. එහෙත් එසේ සිදු වී නොමැත. එසේ නම් විය යුත්තේ කුමක්ද? යන්න විමසිය යුතුය. මෙම ගමේ පමණක් නොව රටේම ගම්මානවල සියලු දෙනා දැනුවත් කිරීම සඳහා වඩාත් හරවත් සමාජ ශෝධන වැඩසටහන් ගම කේන්ද්‍රකොට ගෙන ආරම්භ කළ යුතුය. මෙවැනි දෑ ගම්වල සිදුවන්නේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ගොවිජන සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවිකා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සිවිල් ආරක්ෂක කමිටු ආදී වශයෙන් ගම හදන්නට දායක වන නිලධාරීන් පිරිසක් ගම තුළ සිටියදීය. මේ රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් අතර මීට වඩා පුළුල්, විධිමත් සමීප සබඳතා ගොඩ නැඟිය යුතු බව අපට පහදා දෙන අත දරුවකුට බියර් පෙවීමේ සිද්ධිය අපිට නැවත වතාවක් අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ කළ ප්‍රකාශයක් මතකයට නංවයි.
"මිනිසා හදා ගම හදමු" නමුත් මෙවන් සිදුවීම් මෙලෙස වාර්තාවන්නේ ඒ වෙනුවට ගම හදා මිනිසුන් හදන්නට යෑම නිසා බව නම් නොකියාම බැරිය.

මීගලෑව පොලිස් ස්ථානාධිපති ඩබ්.එම්.පී.බී. විජේසූරිය මහතාගේ උපදෙස් මත උ.පො.ප. විජේරත්න, පො.සැ. (කාන්තා) කාන්ති (1704) සහ පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (35393), වික්‍රමසිංහ (55058), ප්‍රියදර්ශන (75164) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර පො.සැ. ඒකනායක (33557) මහතා අධිකරණයේදී පැමිණිල්ල මෙහෙයවයි.

සටහන -
සුනිල් පොරමඩල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon