කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍ය හෙට

  👤  2510 readers have read this article !
By mawbima 2018-07-22

පහන් විජේසේකර

විසි එක්වැනි සියවසේ මෙරට 'විස්මිත වාරි කර්මාන්තය' ලෙස හැඳින්වෙන මොරගහකන්ද - කළු ගඟ මහ ජලාශ ව්‍යාපෘතියෙහි කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජරට - කඳුරට එක් කරන මොරගහකන්ද - කළු ගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරැඹීම හෙට (23දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මොරගහකන්ද - කළු ගඟ ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර් 9ක් දින උමඟ සහිත ඇළ මාර්ගයේ ඉදිකිරීම් ඇරැඹෙන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහුකාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීමද ඒ අනුව හෙට දින සිදු කෙරේ.

ඒ සමඟම මීටර් 845ක් දිග මොරගහකන්ද මහ වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27ක් උස අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීමද හෙට ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ.

එමෙන්ම මෙරටට අනන්‍ය වූ නව තාක්‍ෂණික ඉදිකිරීම් ක්‍රමවේද නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ශ්‍රී මතාණන් සැමරීම පිණිස මොරගහකන්ද ජලාශය 'කුලසිංහ ජලාශය' ලෙස නම් කරනු ලැබීමේ සුවිශේෂී කටයුත්තද හෙට දින සිදුවේ.

මොරගහකන්ද සම්බන්ධ වන අනෙක් මහා ජලාශය වන්නේ කළු ගඟ ජලාශයයි. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ පිහිටි කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල, පල්ලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය වේ.

මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් දස ලක්‍ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880කි. මෙම ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග මීටර් 618ක් වන අතර උස මීටර් 68ක් වන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon