වාද්දුව පොලිස් මුල් පුටුවට බහිරව බැල්මක්

  👤  2543 readers have read this article !
By mawbima 2018-07-22

චාමර අමරසූරිය

පොලිස් ස්ථානාධිපති ධුරයට සුදුසුකම් නොමැති බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවා නිර්දේශ කොට ඒ බව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම්දෙනු ලැබූ පොලිස් පරීක්ෂකවරයකු වාද්දුව පොලිසියේ ස්ථානාධිපති ධුරයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු එම තනතුරට සුදුසු නැති බව සඳහන් කරමින් පොලිස්පතිවරයාගේ නිර්දේශ මත එකී පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකොට යවා තිබිණි.

එම පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය ගැන සහ ඔහු අපරාධ මර්දනය කිරීමට අදක්ෂයකු බවට සඳහන් කරමින් කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද, බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද, පොලිස්පතිවරයාට යැවූ වාර්තාවලට අනුව පොලිස්පතිවරයා එම පියවර ගෙන තිබිණි.එම ස්ථාන මාරුවත් සමඟ අදාළ පොලිස් පරීක්ෂකවරයා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මාස දෙකකට ආසන්න කාලයක් පොලිස් පරීක්ෂකවරයා ලෙඩ නිවාඩු දමා සිටින බවත් කළුතර (උතුර) ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුට ලබාදුන් නිල නිවෙස සහ රාජකාරි පිස්තෝලය මෙතෙක් ඔහු භාරදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ගයන් කියා සිටී. කෙසේ වෙතත් ඉදිරි දිනක ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගනිමින් මෙම පොලිස් පරීක්ෂකවරයා වාද්දුව පොලිසියේ නව ස්ථානාධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයිද සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon