ගැටුම ඇරැඹුණේ පිටුපා යන දුමින්දට ගාමිණි වෙඩි තැබූ නිසයි - ජනාධිපති නීතිඥ අනිල් සිල්වා

  👤  2721 readers have read this article !
By mawbima 2018-07-22

කමල් මහේන්ද්‍ර වීරරත්න

අතුල් පහරකින් කෙළවර වන්නට ගිය බහින්බස් වීමක් භාරත ඇතුළු 5 දෙනකු මියයෑමත්, දුමින්ද සිල්වා නොමැරී මැරීමත් දක්වා බිහිසුණු ගැටුමක් බවට පත්වූයේ, ආපසු යමින් සිටි දුමින්ද සිල්වාට භාරතගේ ආරක්ෂකයා වූ ගාමිණී විසින් වෙඩිතබා බිම හෙළීමත් සමඟම බැව් නඩු විභාගයේදී දෙපාර්ශ්වයේම සාක්‍ෂිවලින් ප්‍රකාශ වී තිබියදීත් නොමැරී මැරී අදටත් අකර්මණ්‍ය සිටින දුමින්ද සිල්වා සහ ඔහු සමඟ සිටි ආරක්ෂකයන්ට මරණ දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය විසින් දෙන ලද තීන්දුව ඉවතදමා ඔවුන් නි‍ෙදාස්කොට නිදහස් කළ යුතු බැව් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පංචි පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙරේදා (20දා) කියා සිටියේය.

මහාධිකරණයේදී මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිසුරුවරයාවූ මේ වන විට අභියාචනාධිකරණ විනිශ්චයකරුවකු වන ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන්ට එරෙහිව තිබූ කිසිදු චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇතැයි පවසමින් සියලුම විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කළයුතු බවට නඩු විභාගය අවසානයේදී ප්‍රකාශ කරන ලද්දේ මෙකී කරුණු නිවැරැදිව හා නිරවුල්ව විනිශ්චයට භාජන කරලීමට පළපුරුදු විනිසුරුවරයකු වශයෙන් ඔහු ලබා ඇති පරිචය නිසා බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංචපුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම විශේෂ අභියාචනා පෙත්සම විභාගවේ.

2011 ඔක්තෝබර් මස 08 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණය දිනයේ කොලොන්නාව ඡන්ද සටන මෙහෙයවමින් සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා දුමින්ද සිල්වා යන මන්ත්‍රිවරුන් දෙදෙනාගේ වාහන එකිනෙක මුණගැසී ඇති බවත්, ඉන් බැසගත් මන්ත්‍රිවරුන් දෙදෙනා අතර හටගත් බහින් බස්වීමකදී දුමින්ද සිල්වා භාරතට කම්මුල් පහරක් දී ආපසු හැරීයද්දී භාරතගේ ඇමැති ආරක්ෂක ගාමිණී රාජපුරගේ විසින් දුමින්දට වෙඩි තබා බිම හෙලූ බවත්, ඒ සමඟම අනෙක් පාර්ශ්වයෙන්ද වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් නඩු විභාගයේදී ප්‍රකාශ විය.

එම කරුණ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම කරුණු කිසිවක් මහාධිකරණ නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය හෝ නීතිපතිවරයා හෝ ප්‍රතික්ෂේප නොකිරීම මඟින් පිළිගන්නා ලද බවය.

වෙඩි වැදී සිහිසුන් වූ දුමින්ද සිල්වා ඔහුගේ ආරක්ෂකයන් විසින් වහා එම ස්ථානයෙන් ඉවතට ගෙන රෝහල්ගත කළ බවත්, එබැවින් එහි සිදුවූ කිසිදු සිදුවීමකට ඔහු පටලවාගත නොහැකි නිසා, සී.අයි.ඩී.යේ නිලධාරීන්් ගොතන ලද කතාන්දරයක් පරිදි වෙනත් ස්ථාන 3කදී දුමින්ද සිල්වා මෙවැනි ගැටුමකට මුල පිරූ බවට සිදුවීම් තුනක් ප්‍රබන්ධකොට සිද්ධියෙන් මාස 02කටත් පසුව සාක්ෂි රැස්කොට පෙළගස්වා මෙම නඩුව ගොතා ඇති බවත්, ජනාධිපති නීතිඥ සිල්වා මහතා පෙන්වා දුන්නේය.

තවද මෙම නඩුවේ 12 වැනි විත්තිකරු වන රෝහණ මාරසිංහ අධිකරණය හමුවේ කළ ප්‍රකාශයක්ද ඔහු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එකී විත්තිකරු කැඳවූ අපරාධ පරීක්ෂණ නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂියක් දෙන ලෙස ඔහු පෙලඹවූ බවත්, ඊට අකැමැති වූ විට ඔහු විත්තිකරුවකු කොට එල්ලුම්ගස් යවන බවට තර්ජනය කළ බවත් නඩු විභාගයේදී ඔහු ප්‍රකාශ කරන ලද බවය.

අනතුරුව ඔහු පෙන්වා දුන්නේ භාරත ගේ ආරක්‍ෂක නිලධාරීන් වන පොලිස් නිලධාරීන් වෙනත් රජයේ නිලධාරීන් ද සෝලංග ආරච්චිගේ නැන්දණිය වන විමලාවතීද ඇතුළුව විශාල පිරිසකගෙන් හා අපරාධ සිද්ධිය සිදු වූ ස්ථානයේදී ඇසින් දුටු සාක්කිකරුවන්ගේද කටඋත්තර හා දිවුරුම් ප්‍රකාශ පවා ලබාගෙන ඇතත් ඒ කිසිවක් නඩු විභාගයේදී ඉදිරිපත් නොකොට භාරතට ඉතා සමීපව සිටි අයකු වන නාවලගේ සංජීව නමැත්තාගෙන් සිද්ධියට සෑහෙන දින ගණනකට පසු ලබා ගන්නා ලද කටඋත්තරයක් පාදක කර ගනිමින් ඉතා ශූර ආකාරයෙන් දුමින්ද සිල්වා මෙම සිද්ධියට අෑ¼දා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් දුෂ්ට ආකාරයෙන් ක්‍රියා කොට ඇති බවත්ය.

මේ අනුව මෙම නඩු තීන්දුව දීමේදී විනිසුරුවරිය කරුණු කාරණා හරිහැටි විශ්ලේෂණය කර තීන්දුව දීම වෙනුවට ඇය පවසන පරිදි කිසිදු සාක්කියක් පරස්පර විරෝධතා හෝ උෟනතාවන්ගෙන් වියුක්ත නොවූ බව දැන දැනම පෙනි පෙනීම සංකල්පමය වශයෙන් තමන්ට වැටහෙන ආකාරයට ඒ මත පිහිටා මෙම තීන්දුව දී ඇති බවත් එබැවින් මෙම තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතුව ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon