ශ්‍රීලනිපය රකින්න කැපවූ ගාල්ලේ නායකයා

  👤  3015 readers have read this article !
By mawbima 2018-08-10

තිරසර දැක්මකින් සවිමත්ව ඍජු මානව ප්‍රේමී අධිෂ්ඨානයකින් පෝෂිතව ජන මෙහෙවරහි යෙදෙන නායකයෝ සිය අනුගාමිකයන් මෙන්ම සමස්ත ජන සමාජය තුළද නොමැකෙන සුන්දර සැමරුම් ඉතිරි කර යති. දිවංගත ආචාර්ය රිචර්ඩ් පතිරණයන් ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදාදරණීය වන්නේ එවන් නොසැලෙන දේශපාලන ආර්ථික මෙන්ම සමාජයීය දෘෂ්ටියකින් යුතුව ඔහු ජීවත්වූ යුගය තුළ දෛවය විසින් ඔහුට පවරනු ලැබූ ජාතික මෙහෙවර ඒ අයුරින්ම දැඩි කැපවීමෙන් යුතුව ඉටුකළා වූ සැබෑවටම දේශප්‍රේමී ගුණයෙන් සපිරි නිර්ව්‍යාජ උතුම් නායකයකු නිසාය.

රිචර්ඩ් පතිරණයන් අපෙන් සමුගෙන මෙම සටහන ලියැවෙන අගෝස්තු මාසය වන විට වසර දහයකුත් මසක් ගතවේ. එතුමාගේ අභාවයෙන් දශකයකට පසුවත් එතුමාගේ ගුණ සුවඳ රට තුළ විශේෂයෙන් ගාලු දිසාව ප්‍රධානව සමස්ත දකුණේ පැතිර පවතින්නේ එතුමා තුළින් මූර්තිමත් වූ ඉහත නායකත්ව ගුණ සමුදාය නිසාය.

මීට දශක නවයකට එපිට ගාල්ල අක්මීමණ කපුහෙම්පල සුන්දර ගම්පියසේ ඉපිද කීර්තිමත් ගුරුවරයකු හා කෘතහස්ත විදුහල්පතිවරයකු ලෙස සුවිසල් අධ්‍යාපනික මෙහෙවරකින් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ආචාර්ය රිචර්ඩ් පතිරණයන් 1994 සිට 2000 දක්වා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය තනතුර මෙන්ම එතුමිය යටතේම 2000 - 2001 කාලය තුළ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසද නොමැකෙන ජාතික මෙහෙවරක් ඉටුකළ දකුණෙන් බිහිවූ අභිමානවත් නායකයෙකි.

දිවංගත රිචර්ඩ් පතිරණයන්ගේ එම කීර්තිමත් සමාජ දේශපාලන ගමන කිසිදා සුන්දර සරල මටසිලුටු මාවතක් නොවීය. දසක තුනකට එහා දිව යන එතුමාගේ දිගු දේශපාලන ගමන ආරම්භයේ සිටම පිරී ඉතිරි පැවතියේ බරපතළ දේශපාලන අභියෝගවලින්ය.

1977 මෙරට සිදුවූ දේශපාලන පෙරළිය මෙරට ප්‍රගතිශීලි හා වමේ දේශපාලනය සෝදාපාළුවට ලක්කළ රුදුරු ප්‍රචණ්ඩ දේශපාලන සුනාමියක් විය. 1970 වමේ බලවේගයන්ගේ අද්විතීය ජයග්‍රහණයක් තුළින් පිහිටුවූ අප පක්ෂයේ සදාරණීය නායිකා දිවංගත සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරාජය කරමින් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය දැවැන්ත දේශපාලන ජයග්‍රහණයක් අත්කරගත්තේය. 1970 පාර්ලිමේන්තුවේ ආසන 115ක් හිමිකරගත් අප පක්ෂයට 1977දී හිමිවුණේ ආසන 8කි.

එදා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දුන්නේ වර්තමානයේ අප පක්ෂය මුහුණ දෙන අභියෝග, ගැටලු හා විවිධ මත ගැටුම්වලට සමාන දේශපාලන දුෂ්කරතාවන්ටය. හැත්තෑවේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව හරහා හඹා ගිය දේශපාලන කුණාටු හැත්තෑ හතේ දැවැන්ත පරාජයට හේතු විය.

සමඟි පෙරමුණු ආණ්ඩුවේ කොටස්කාර වමේ පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් විය. අප පක්ෂයේම කිහිපදෙනෙක් විපක්ෂයේ අසුන් ගත්තේය. පරිණත දේශපාලන අත්දැකීම් සහිතව සිටි කෘතහස්ත දේශපාලන නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධනයන් ශ්‍රී ලනිප ප්‍රධාන වමේ බලවේගයන්ගේ අනුචිත අසමඟිය මනාව උපයෝගී කර ගනිමින් සිය දේශපාලන අරමුණු මනාව සාක්ෂාත් කරගත්තේය.

හැත්තෑහතේ දේශපාලන සුළිකුණාටුව අක්මීමණ ආසනය හරහාද බරපතළ දේශපාලන ආපදා ඇති කරමින් හඹා ගියේය. දිනෙන් දින තීව්‍ර වූ පක්ෂ අසමඟිකම් හා පාවාදීම් මධ්‍යයේද දැඩි ශ්‍රී ලනිප අනුගාමිකයන් පක්ෂයට පිටුනොපා පක්ෂය රැකගැනීමට දිවා රෑ නොතකා වෙහෙසුණහ.

1977 ජූලි මැතිවරණයට අපේ පක්ෂයෙන් අක්මීමණට ඉදිරිපත් වූයේ එවකට ආසන සංවිධායක සේනපාල සමරසේකර මහතාය. අත ලකුණින් තරඟකළ සේනපාල මහතා අලියා ලකුණින් තරඟකළ එ.ජා.ප. අපේක්‍ෂක සුමනදාස අබේවික්‍රම මහතාට පරාජය විය. එහෙත් අක්මීමණ ආසනයේ අවංක ඍජු පක්ෂයට ළැදි සියලුදෙනා පක්ෂය වටා රොක්විය. එම වකවානුව තුළ පක්ෂය හා පක්ෂ සංවිධායකයා අත්නොහැර නොසැලී පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ඉදිරිපෙළ ප්‍රබලයකු වූයේ ඒ වනවිටත් සටන්කාමී ගුරු නායකයකු ලෙස කීර්තියක් දිනා සිටි රිචර්ඩ් පතිරණයන්ය. දක්ෂ කථිකයකු මෙන්ම කාර්යශූර සංවිධායකයකු වූ රිචර්ඩ් පතිරණයන් සේනපාල සමරසේකරයන්ගේ දේශපාලන කටයුතුවලට නැතිවම බැරි පතාකයෙක් විය.

ජෙ.ආර්. ජයවර්ධන යුගයේ උදාව මෙරට සුවිසල් මං සලකුණු රැසක් නිර්මාණය කළ දේශපාලන සංසිද්ධියක් විය. තරගකාරි නිදහස් ආර්ථික හා වෙළෙඳ ප්‍රතිපත්තියක් සමඟ සමස්ත රටම වෙනස්ම ගමන් මඟක් කරා යොමු විය. ජේ.ආර්. ජයවර්ධන මහතා ලබාගත් බලය කෙසේ හෝ දිගටම පවත්වා ගැනීම ම සිය බුද්ධිය මෙහෙයවමින් විවිධ අණපනත් අලුත් නීතිරීති හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ඔහු තමාට අනාගත දේශපාලන අභියෝගයක් විය හැකි පුද්ගලයන් හා සංවිධාන උපක්‍රමශීලීව දියකර හැරීමේ කුප්‍රකට පිළිවෙත් එකින් එක දියත් කර හැරියේය.

පක්ෂ නායිකා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් දියත් කළ එම පීඩාකාරී පළිගැනීමේ වැඩපිළිවෙළ රට පුරාම දියත් විය. මෙම අවස්ථව වන විට ශ්‍රී ලනිපයේ ද සමඟිය බිඳවැටෙමින් පැවතිණි. එ.ජා.ප. ආණ්ඩුව එම මර්දනකාරී දේශපාලනයේ අක්මීමණ ප්‍රධාන ගොදුරක් වූයේ රිචර්ඩ් පතිරණයන්ය.

විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව පක්ෂයේ ජීව ගුණය රකිමින් පක්ෂය අත්නොහැර සිටි අතළොස්ස අතරින් ඉදිරිපෙළ සිටි ක්‍රියාධරයෙක් වූයේ රිචර්ඩ් පතිරණයන්ය. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් සමඟ එදා පක්ෂය තුළ සිටි කුමන්ත්‍රණකාරයෝ ඇයගේ පක්ෂ සභාපතිත්වයද අහෝසි කළ යුතු බවට යෝජනා කළහ. එම යෝජනාවට පක්ෂයේ බහුතරයකගේ විරෝධය එල්ල වූ අතර ආශීර්වාදය ලැබුණේ සුළු පිරිසකගෙනි. විස්මය වූයේ යෝජනාවට පක්ෂ සුළු පිරිසට සිරිමා මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහතාද ඇතුළත් වීමයි. නමුත් එම දුෂ්කර අවධියේද රිචර්ඩ් පතිරණලා පක්ෂයට පිටුවෑවේ නැත. අප පක්ෂ පැවැත්ම එදත් අදත් රැඳුණේ රිචර්ඩ්ලා වැනි සැබෑ බණ්ඩාරනායක අනුගාමිකයන් නිසාය.

ආසන සංවිධායකයා දේශපාලනයේ වනගත වන විට අක්මීමණට නව සංවිධායකයකුගේ අවශ්‍යතාව පැනනැඟිණි. ඒ සඳහා එවකට අක්මීමණ සිටි පක්ෂ ක්‍රියාකාරීන් කිහිපදෙනකුම උත්සාහ දැරුවද සිරිමා මැතිනියගේ තේරීම වූයේ රිචර්ඩ් පතිරණයන්ය. පක්ෂ නායිකාවගේ ආශීර්වාදය ලැබුණද රිචර්ඩ් පතිරණගේ මුල් දේශපාලන ගමන්මඟ එතරම් සුන්දර නොවීය. නැඟී එන නව ජවසම්පන්න නායකත්වය උපන් ගෙයිම විනාශ කිරීමට බොහෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය. එහෙත් රිචර්ඩ් පතිරණයන් ඉද්‍රඛීලයක් සේ නැඟී සිටිමින් පක්ෂයත් පක්ෂ සාමාජිකත්වයත් රැකගත්තේය.

පක්ෂයත් පක්ෂ සාමාජිකත්වයත් වෙනුවෙන් අචල විශ්වාසයෙන් හා භක්තියේ යුතුව කටයුතු කළ රිචර්ඩ් පතිරණයන් වෙනුවෙන් අක්මීමණ ප්‍රධාන ගාල්ල දිසාවේ සමස්ත ප්‍රජාවද ඔහුට දැක්වූයේ අපමණ ආදරයකි. භක්තියකි. ඔවුහු ඔහුට පෙරළා කෘතගුණ දැක්වීය. හැම මැතිවරණයකදීම එතුමාගේ ජනප්‍රසාදය එන්න එන්ටම වැඩිවිය.
ලැබූ හැම ජයග්‍රහණයකදී එතුමා ඒවා හැඳින්වූයේ ඒ සියල්ල ඔහුගේ තනි ජයග්‍රහණ නොව ජනතාවගේ ජයග්‍රහණ ලෙසය. "මේ ජයග්‍රහණ ඔබලාගේය." ඔහු නිතරම සිය ඡන්දදායකයාට සඳහන් කළේ එසේය.

තනතුරු වරප්‍රසාද ලැබෙන්න ලැබෙන්න ඔහු වඩවඩාත් ජනතා සේවයට කැපවිය. ලත් තනතුරුවල සුඛවිහරණයන් විඳිමින් නොසිට ඔහු ගම්දනව් සිසාරා ඇවිද ගියේය.
දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ රැකීරක්ෂා ප්‍රශ්නයටද රිචර්ඩ් පතිරණ මහතා උපරිම සාධාරණය ඉටු කළේය.රැකියා ඉල්ලා පැමිණි අයට ඇතැම් විට මඳක් සැර පරුෂ වුවද හැකි හැම විටම ඔහු උත්සාහ කළේ ගමේ කොල්ලෙකුට හෝ කෙල්ලකුට රක්ෂාවක් සොයා දීමටය.

ඔහු පසුපස ගිය හැම අංකුර දේශපාලනඥයකුටම එතුමා ආදර්ශවත් දේශපාලන පෞරුයක් විය. රිචර්ඩ් පතිරණ යනු අද වැජඹෙන බොහෝ දේශපාලනඥයන්ගේ අත්පොතය. නිරන්තරයෙන්ම පක්ෂය හා පක්ෂ නායකත්වය සමඟම දුෂ්කර අවස්ථාවේ මෙන්ම ස්වර්ණමය යුගයේද කටයුතු කරන්නේ කෙසේද යන්න වත්මන් පරපුරට කියාදුන් දැවැන්ත සෙවණැල්ල රිචර්ඩ් පතිරණයන්ය.

ඔහු පක්ෂ දේශපාලනයේ පෙරහරේ පමණක් ගිය හස්තියෙක් නොවීය. ඔහු පක්ෂයට කොට අදින පරපුරේද අයකු විය. පක්ෂ රැලියක් පවතින්නේ නම් රිචර්ඩ් පතිරණ රෑ පහන් කරන්නේ එම රැලිය පැවැත්වෙන භූමියේය. රැස්වීම් භූමියේ අවසන් සූදානම් කිරීමත් අවසන් වූ පසුය රිචර්ඩ් පතිරණ ගෙදර යන්නේ. රිචර්ඩ් දේශපාලනය කළේ එසේය. නායකයන් පසුපස යමින් ඔවුන් සමඟ සිටිමින් සිය මූණත් තහඩුව රටට පෙන්වීම ඔහුගේ දේශපාලන සදාචාරය නොවීය. දේශපාලනයේ කෙටි මං නොමැති බව ඔහු අපට නිරන්තරයෙන්ම පසක් කළේය.

මෙම මස 10 වැනිදා දසවන අතිඋත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත දවසන ගුණ සමරුව සංවිධානය කරමින් ඒ සඳහා නායකත්වය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මැතිඳුන් ප්‍රධාන සමස්ත කෘතවේදී ජනතාවට ද මගේ ගෞරවයත් ප්‍රණාමයත් පුදකරමි.

 ෂාන් විජයලාල් ද සිල්වා
ප්‍රධාන අමාත්‍ය - දකුණු පළාත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon